කාර්මික සංවර්ධන මණ්ඩලය හා මහින්ද්‍රා අයිඩියල් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

කාර්මික සංවර්ධන මණ්ඩලය මෙරට තුළ මෝටර් රථ එකලස් කිරීමේ නිරත ප්‍රමුඛ පෙළේ සමාගමක් වන මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගම සමගින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදු වූ බව එම මණ්ඩලය සඳහන් කරයි.

ලෝක ප්‍රසිද්ධ ඉන්දියානු මහින්ද්‍රා සමාගම මුලික කරගත් දේශීය ආයතනයක් වන මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගම අද වනවිට එම සමාගම දේශීය මෝටර් රථ කර්මාන්ත ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් පැමිණීමට සමත්ව සිටියි.

එම නිම්වළලු තවදුරටත් පුළුල් කරමින් මෝටර් රථ උපාංග දේශීයව නිෂ්පාදනය කිරීම, නවතම මාදිලි එකලස් කිරීම හා ජාත්‍යන්තර වෙළදපල ඉලක්ක කරගනිමින් අවශ්‍ය ප්‍රමිතිකරණය දේශීයව දියුණු කිරීම උදෙසා තවත් දැවැන්ත වැඩපිළිවෙලකට ආරම්භය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සමග මෙලෙස අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

මෙම අවබෝධතාව තුලින් මහින්ද්‍රා වාහන උපාංග දේශීයව නිෂ්පාදනය, තත්ත්ව පරික්ෂාව හා ප්‍රමිතිය පවත්වාගැනීමට අවශ්‍ය තාක්ෂණ තිරෝහරණය, දේශීය වාහන උපාංග නිෂ්පාදකයන් බිහිකිරීම, හා තෙවෙනි පාර්ශව තත්ත්ව සහතිකකරණයන් සිදුකිරීම අපේක්ෂාවයි.

මෙහිදී මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ නලින් වෙල්ගම මහත්මා සහ කාර්මික සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් සභාපති සුනිල් ගුණවර්ධන මහතාද එම ගිවිසුමට අත්සන් තබා තිබේ.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී.එල්.යු.රත්නමලල, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (සංවර්ධන) වැඩබලන හා අධ්‍යක්ෂ ඉංජිනේරු කපිල නිශාන්ත, ඉංජිනේරු රුවන් වීරසුරිය මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව තිබේ. මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සුරේන් ගලගොඩ, නියෝජ්‍ය කළමනාකාර කලණ ජසෙන්තුලියන සහ තාක්ෂණික සංවර්ධන සම්බන්ධිකාරක ෂෙහාන් සමරසිංහ මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව තිබේ.

Visits: 70