මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දියාවේ Amul මූලස්ථානයේ සංචාරයක

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ප්‍රමුඛ නිල දූත පිරිසක්, පසුගිය සතියේදී ‘Amul’ ලෙස ප්‍රකට සීමාසහිත ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනයේ (GCMMF) සංචාරයක නිරත වූ බව නවදිල්ලි නුවර පිහිටි මහ කොමසාරිස් කාර්යාය පවසයි.

මෙහිදී මහකොමසාරිස් මොරගොඩ මහතා අමූල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ආර්. සෝධි මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. විශේෂයෙන්ම ඉන්දියාවේ සහය සහිතව ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීම සඳහා පවතින ක්‍රම සහ විධි පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

මෙම සංචාරය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ඉන්දියාව තුළ සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව ගුජරාටයේ සිදු කළ ප්‍රථම නිල සංචාරයද වෙයි. රාජ්‍ය නිලධාරීන් සහ ශක්‍යතා සහිත ආයෝජකයන් හමුවීමේ අරමුණින් මහ කොමසාරිස්වරයා ගුජරාට් ප්‍රාන්තයේ දෙදින නිල සංචාරයක නිරත වී තිබේ..

Amul හි කළමනාකාර අධ්‍යක්ෂවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේදී දැනට පවතින ඉන්දීය ණය පහසුකම හරහා Amul හි කිරි නිෂ්පාදන මෙරටට ආනයනය කිරීම සහ කිරිවලින් ස්වයංපෝෂිත රටක් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ Amul ආකෘතිය ප්‍රචලිත කිරීම පිළිබඳ විශේෂ අවධානයක් මෙහිදී යොමු කෙරී තිබේ.

එහිදී Amul සමාගමේ තාක්ෂණික සහය ද සහිතව මී ගව පාලනය, කිරි ලබාගැනීමේ ප්‍රභවයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරී ඇත. ඉන්දියාවේ සමස්ත කිරි නිෂ්පාදනයෙන් 45% ක් මී කිරි වන අතර, Amul හි සමස්ත කිරි නිෂ්පාදනයෙන් 55% ක් සකස් වන්නේ මී කිරිවලිනි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මහ කොමසාරිස්වරයා ඇතුළු දූත පිරිස කිරි ඇසුරුම් කිරීම සහ අනෙකුත් කිරි ආහාර නිෂ්පාදනය කෙරෙන ආනන්ද් හි පිහිටි කයිරා කිරි සංගමයේ කිරි නිෂ්පාදනාගාරය වෙතද ගොස් තිබේ.

කුඩා නගරවල වෙළෙන්දන් සහ නියෝජිතයන් විසින් ආන්තික කිරි නිෂ්පාදකයන් සූරාකෑම තවතාළීම සඳහා ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ආරම්භ කළ සමුපකාර සමිතියක් ලෙස 1946 වර්ෂයේ දී පිහිටුවන ලද Amul ආයතනය සතුව යටත් විජිත සමයේ දී ප්‍රචලිත වූ විරෝධී හැඟීම් සහ ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය සමඟ සමීප සබඳතා පවතී.

වර්තමානය වන විට, ගුජරාටයේ ගම් 18,565 ක කිරි නිෂ්පාදකයන් මිලියන 3.6 ක පිරිසක් විසින් Amul ආයතනය මෙහෙයවනු ලැබේ. මෙම ග්‍රාමීය සමුපකාර කිරි සංගම් දහතුනකින් සමන්විත වන අතර, GCMMF ආයතනය එම කිරි සංගම්වල ප්‍රධාන ආයතනය ලෙස ක්‍රියා කරමින් එම සමූපකාර කළමනාකරණය කරයි. මෙම සම්මේලනය ඉන්දියාවේ පිහිටි විශාලතම ආහාර නිෂ්පාදන අලෙවිකරණ සංවිධානය යි.

Visits: 84