ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෝලීය ආර්ථික වර්ධනයේ පුරෝකතනය තවදුරටත් පහත හෙළයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් සිදු කරන නවතම යාවත්කාලින පුරෝකතනයට අනුව 2022 වසර සඳහා වන ගෝලීය ආර්ථික වර්ධනයේ පෙරදැක්ම 3.2%ක් ලෙස සහ 2023  වසරේදී 2.9%ක් ලෙස පහත හෙළන බව නිවේදනය කර සිටියි.

එම අරමුදල මගින් අද දිනයේදී එළිදැක් වූ 2022 ජුලි මාසය සඳහා වන World Economic Outlook Update නම් වාර්තාව තුළ මේ පිළිබඳව සඳහන්ව තිබේ. “Gloomy and More Uncertain” හෙවත් “අඳුරු සහ වඩාත් අවිනිශ්චිත” ලෙස මෙම වාර්තාවේ තේමාව සටහන් කර ඇත.

“2021 වසරේදී පෙන්නුම් කළ තාවකාලික යථාවත්වීම 2022 වසරේදී ගොඩනැගුණු අඳුරු තත්ත්වයත් සමගින්ම වඩාත් අවදානම් තත්ත්වයක් ඇති කර තිබෙනවා. එහිදී චීනය සහ රුසියාවේ ඇති වූ ආර්ථික පසුගාමීත්වයත් එක්සත් ජනපදයේ පාරිභෝගිකයන්ගේ වියදම් කිරීම් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා පහළ වැටීමත් සමගින්ම මේ වසරේ දෙවැනි කාර්තුවේදී ගෝලීය නිෂ්පාදනය හැකිලීමක් සිදු වුණා.“

ඒ අනුව වසංගතය නිසා දුර්වල තත්ත්වයට පත්ව තිබූ ලෝක ආර්ථිකය තවත් කම්පන රැසකටම ලක් වූ බවත්, විශේෂයෙන්ම එක්සත් ජනපදය සහ ප්‍රධාන යුරෝපියානු ආර්ථිකයන් ඇතුළුව ලොව පුරා බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළින් ඇති වූ උද්ධමනය, ඒ හරහා ඇති වූ මූල්‍යමය තත්ත්වයන්හි දැඩි වීම්, COVID-19 ව්‍යාප්තිය සහ ලොක්ඩවුන් සීමා නිසා චීනය තුළ ඇති වූ බලාපොරොත්තු නොවූ දරුණු මට්ටමේ පසුබැසීම් මෙන්ම යුක්රේනය තුළ පවතින යුද්ධය නිසා ඇති වූ තවත් ඍණාත්මක කාරණාද මේ සඳහා හේතුවක් වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍යඅරමුදල පවසයි.

ඒ අනුව මෙහිදී දියුණු ආර්ථිකයන් සහිත රටවල ආර්ථික වර්ධනය 2022 වසරේදී 2.5%ක් දක්වාත් 2023 වසරේදී 1.4%ක්  දක්වාත් පහත වැටෙනු ඇතැයි IMF පුරෝකතනය වී තිබේ.ඒ අතරින් එක්සත් ජනපදය තුළ 2022 වසරේදී ආර්ථික වර්ධනය 2.3%ක ප්‍රතිශතයක් ගනු ඇති බවත්, 2023 දී එය 1.0%ක් බවට පත්වෙනු ඇති බවත් එහි සඳහන්ව ඇත. එසේම යුරෝපා කලාපය තුළ එය 2022 වසරේදී 2.6%ක් සහ 2023 දී 1.2%ක් බවට පත්වෙනු ඇති බවත් සටහන්ව තිබේ.

ඒ අතරතුරදීම නැගී එන වෙළෙඳ පොළ සහ දියුණු වෙමින් පවතින ආර්ථිකයන්හි වර්ධන වේගය 2022 වසරේදී 3.6%ක් බවට පත්වෙනු ඇති බවත්, 2023 දී එය 3.9%ක් දක්වා ඉහළ යනු ඇති බවත් මෙහිදී පුරෝකතනය කෙරී ඇත.

එහිදී මැදපෙරදිග සහ මධ්‍යම ආසියානු කලාපය තුළ 2022 වසර සඳහා වන ආර්ථික වර්ධනය 4.8%ක් ලෙස සටහන්ව ඇති අතර, 2023දී එය 3.5%කි. එසේම නැගී එමින් පවතින සහ සංවර්ධනය වෙමින් පවතින ආසියාව තුළ ආර්ථික වර්ධනය 2022 දී 4.6%ක් සහ 2023 දී 5.0%ක් ලෙස සඳහන්ව තිබේ.

Visits: 79