සැම්සුන්ග් සමාගම ඩො.බි. 1.3ක ආයෝජනයකයකින් මැලේසියාව තුළ බැටරි නිෂ්පාදනාගාරයක් අරඹයි

දකුණු කොරියාවේ සැම්සුන්ග් සමූහයේ බැටරි සහ ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදන අංශය වන Samsung SDI සමාගම මැලේසියාව තුළ සිලින්ඩර මාදිලියේ බැටරි නිෂ්පාදනය සඳහා නවතම කර්මාන්තශාලාවක් පිහිටුවීමේ කටයුතු ආරම්භ කර ඇතැයි පවසයි.

මේ සඳහා Samsung SDI සමාගම සිදු කරන ආයෝජනය දකුණු කොරියානු වොන් ට්‍රිලියන 1.7ක් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3ක් ලෙස සඳහන්ව තිබේ. අනාගතයේදී මෙම බැටරි සඳහා පවතින ඉල්ලුම සැපිරීම මෙම කර්මාන්තශාලාවේ අරමුණ වී ඇත.

Samsung SDI Energy Malaysia Sdn Bhd (SDIEM) සමාගම යටතේ මෙම කටයුතු සිදු කෙරේ. මීට පෙරද එම සමාගම මැලේසියාව තුළ සිය කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන අතර, මෙම කර්මාන්තශාලාව අංක 02 කර්මාන්තශාලාව ලෙස නම් කෙරී තිබේ.

මැලේසියාවේ සෙරෙම්බන් පළාතේ ඉදි කෙරෙන මෙම කර්මාන්තශාලාවේ සම්පූර්ණ ඉදිකිරීම් වසර 2025වසරේදී අවසන් කිරීම සැලසුම වී ඇත. නව කර්මාන්තශාලාව හරහා PRiMX 21700 සිලින්ඩර මාදිලියේ බැටරි නිෂ්පාදනය 2024 වසරේ සිට ආරම්භ කිරීමත් සමාගමේ බලාපොරොත්තුව වී තිබේ.

මෙලෙස නිෂ්පාදනය කෙරෙන බැටරි, බල උපාංග (Power Tools) සහ විදුලි ස්කූටර් (micro-mobility) හි සිට විදුලි මෝටර් රථ (Electric Vehicles) දක්වා වන විවිධ වූ පරාසයක උපාංග වෙත යෙදවිය හැකි බවත් Samsung SDI සමාගම පවසයි.

මැලේසියාවේ පිහිටුවෙන මෙම කර්මාන්තශාලාවට අමතරව Samsung SDI සමාගම දැනටමත් දකුණු කොරියාව, චීනය, හංගේරියාව සහ එක්සත් ජනපදය යන රටවල සිය කර්මාන්තශාලා පිහිටුවා තිබේ.

Visits: 108