ජූනි මාසයේදී උද්ධමනය 58.9%ක් දක්වා ඉහළට

2022 ජූනි මාසයේදී මෙරට උද්ධමනය 58.9%ක අගයක් ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත අනුව මහ බැංකුවෙහි සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි. ඒ අනුව මෙය 2022 මැයි මාසයේදී  වාර්තා වූ 45.3%ක උද්ධමනයට සාපේක්ෂව කැපී පෙනෙන ඉහළ යාමකි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද. 2013=100) පාදක කරගනිමින් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මෙම උද්ධමන අනුපාතය පිළිබඳ වාර්තාව සකස් කරයි.

මෙහිදී මූලිකවම උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෛහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වී තිබේ.

ඒ අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේදී පැවැති 58% මට්ටමේ සිට ජුනි මාසයේදී 75.8ක් දක්වා ඉහළ නැග තිබේ. එහිදී සහල්, එළවලු, නැවුම් මත්ස්‍ය, සීනි, කිරිපිටි සහ කරවල මිල ගණන් ඉහළ යාම සිදුව ඇත.

එසේම ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේදී පැවැති 34.2%ක අගයේ සිට ජූනි මාසයේදී 43.6%ක් දක්වා ඉහළ නැග තිබේ. එහිදී පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු ඇතුළු ප්‍රවාහන මිල ගණන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහල යාම සිදුව ඇත.

Visits: 61