ඉෂාරගේ ප්‍රධානත්වයෙන් LOLC Bank Philippines හි ක්‍රමෝපායික සැලසුම් සැසියක් පවත්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලැයිස්තුගත සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් පිලිපීනය තුළ පවත්වාගෙන යන LOLC Bank Philippines Inc. සමාගම පසුගියදා සිය ක්‍රමෝපායික සැලසුම් සැසියක් සංවිධානය කළ බව මාධ්‍ය වාර්තා පවසයි.

පසුගිය ජූනි මාසයේ අවසන් සතියේදී පිලිපීනයේ මැනිලා නුවර මැරියට් හෝටලයේදී මෙම සැසිය පැවැත්වී ඇතැයි පිලිපීනයේ The Manila Times පුවත්පත සඳහන් කර සිටියි.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි සභාපති මෙන්ම LOLC Bank Philippines Inc. හි ගෞරවනීය සභාපති ඉෂාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා LOLC Bank Philippines Inc. හි සභාපති දුලිප් සමරවීර, ප්‍රධාන විධායක නිලධාරී රොමන් ලෙයුස්, අධ්‍යක්ෂ ෂෙහාන් සෙනෙවිරත්න සහ කළමනාකරණ කමිටුවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වී තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති ඉෂාර නානායක්කාර මහතා බැංකු ව්‍යාපාරය වඩාත් සාර්ථකව වර්ධනය කර ගත හැකි මාර්ගය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමක් සිදු කර තිබේ. එසේම සෑම දෙනාටම බලපෑම් එල්ල කළ වසංගතයෙන් කුඩා ව්‍යාපාර ආරක්ෂා කරගත ගැනීම සඳහා ලබා දිය හැකි සහයෝගය සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී කරුණු දක්වා ඇත.

මේ අතර LOLC Bank Philippines Inc. හි සභාපති දුලිප් සමරවීර මහතා සහ අනෙකුත් නිලධාරීන් පිරිසක් පසුගිය ජූලි 01 වැනිදා පිලිපීන මහ බැංකුවෙහි අධිපති ෆෙලිපේ මෙඩෙල්ලා හමුවීම සිදුව තිබෙන බවත්, එහිදී ඔවුන් පිලිපීන මහ බැංකුවෙහි නියාමන පිළිබඳ අධ්‍යක්ෂ මාරි ඇන් කියුබේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ මර්ලින් ලැම්නොස් ඇතුළු පිරිසක්ද හමුවී ඇති බවත් The Manila Times පුවත්පත පවසයි.

අද වනවිට LOLC සමූහය ආසියාව සහ අප්‍රිකාව ඇතුළු රටවල් 15ක බැංකු සහ මූල්‍ය සේවා මෙහෙයුම් පවත්වාගෙන යයි. එහිදී ගෝලීයව ගනුදෙනුකරුවන් මිලියන 1.5කට පමණ සේවා සලසන බවත් එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 187