ගෞතම් අදානි බිල්ගේට්ස් පසු කරමින් Forbes ධනවතුන්ගේ ලැයිස්තුවේ සිව්වැනි තැනට

ඉන්දියාවේ අදානි සමූහයේ හිමිකරුවා වන ගෞතම් අදානි ජාත්‍යන්තර ෆෝර්බ්ස් සඟරාවේ ධනවතුන්ගේ ලැයිස්තුවෙහි (Forbes Real Time Billionaires List) සිව්වැනි ස්ථානයට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙතෙක් කලක් එම ස්ථානයේ පසු වූ මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල්ගේට්ස් පසුකරමින් අදානි ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

Forbes සඟරාවට අනුව අද වන විට ගෞතම් අදානිගේ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 115.4කි. එසේම බිල් ගේට්ස්ගේ වත්කම ඩොලර් බිලියන 104.5ක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර බිල්ගේට් සිය වත්කමින් ඩොලර් බිලියන 20ක් සිය පුන්‍යායතනය වෙත ප්‍රදානය කරන බවට සිදුකළ නිවේදනයත් සමගින්ම ඉදිරියේදී ඔහුගේ වත්කම තවදුරටත් අඩු වෙනු ඇති බවත්, ඒ සමගම මෙම ලැයිස්තුවෙන්ද ඔහු පහළට යනු ඇති බවත් සඳහන්වෙයි.

මෙම Forbes බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව අද වනවිට ලොව ධනවත්ම පුද්ගලයා වන්නේ Tesla සහ SpaceX සමාගම්හි නිර්මාතෘවරයා වන එලෝන් මස්ක්ය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 235.8 කි. එසේම දෙවැනි ස්ථානයේ පසුවන LVMH අලෙවි ජාලය හිමි බර්නාඩ් ආර්නෝල්ට් සහ පවුලේ වත්කම ඩොලර් බිලියන 155.2කි. තෙවැනි ස්ථානයේ පසුවන ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසොස්ගේ වත්කම ඩොලර් බිලියන 148.4ක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර ආසියාව තුළ බිලියනපතියන් අතරින් ගෞතම් අදානි සමගින් තරගයේ පසුවන ඉන්දියාවේම ධනවත් ව්‍යාපාරික මුකේෂ් අම්බානි මෙම Forbes බිලියනපතියන්ගේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ පසුවෙයි. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 89.8කි.

කෙසේ වෙතත් බ්ලූම්බර්ග් (Bloomberg) වෙබ් අඩවියේ බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව අදානි තවමත් බිල්ගේට්ස්ට පසුපසින් සිටියි. එහිදී අදානිගේ වත්කම ඩොලර් බිලියන 111ක් ලෙස සටහන්ව ඇති අතර, බිල්ගේට්ස්ගේ වත්කම ඩොලර් බිලියන 116ක් ලෙස සටහන්ව ඇත.

Visits: 255