අලුතින් පිහිටුවුණු LOLC Kenya Microfinance කෙන්යාව තුළ තවත් ශාඛා හතරක් විවෘත කිරීමට යයි

ශ්‍රී ලංකාවේ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් අත්පත් කරගත් කෙන්යාවේ Key Microfinance Bank සමාගම එම අත්පත් කරගැනීමෙන් අනතුරුව සිය නව නාමය වන LOLC Kenya Microfinance සමාගම යටතේ එරට තුළ නව ශාඛා හතරක් විවෘත කරමින් සිය මෙහෙයුම් පුළුල් කිරීමට සූදානමින් සිටින බව පවසයි.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම 2022 වසරේදී එම සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයත් අත්පත් කරගැනීම සිදු කළ අතර, එය කෙන්යානු මහ බැංකුව මගින් නිකුත් කළ බලපත්‍රයක් යටතේ තැන්පතු භාරගන්නා ක්ෂූද්‍ර මූල්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන්නකි.

කෙන්යාව තුළ ක්ෂුද්‍රමූල්‍ය පහසුකම් සපයන සමාගමක් වන Key Microfinance Bank සමාගම මීට පෙර Remu Microfinance ලෙස ක්‍රියාත්මක වූ අතර, 2019 වසරේ පෙබරවාරි මාසයේදී එය Key Microfinance Bank ලෙස නම් වෙනස් කෙරිණි.

මෙම Remu Microfinance සමාගම ප්‍රාදේශීයව සිය ක්ෂුද්‍ර මූල්‍ය මෙහෙයුම් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති අතර, අදවනවිට එම සමාගම සතුව සතුව කෙන්යාවේ නයිරෝබි අගනුවර, මේරු සහ මායු යන නගර තුළ සිය ශාඛා පවත්වාගෙන යයි.

නමුත් සමාගමේ නව හිමිකරුවන් වන LOLC හෝල්ඩිංග්ස් සමාගම LOLC Kenya Microfinance යටතේ එහි ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබාදීම තවදුරටත් වර්ධනය කරමින් එම සමාගම ජාතික සහ ප්‍රාදේශීයව ඉලක්ක කරගැනීම අරමුණ වී තිබෙන බව කෙන්යානු මාධ්‍ය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති LOLC Kenya Microfinance හි ප්‍රධාන විධායක නිලධාරී ග්‍රෙගොරි සිරෝ මහතා, ලබන අගෝස්තු මාසයේදී කෙන්යාවේ පැවැත්වෙන මහමැතිවරණයෙන් අනතුරුව සැලසුම් කර ඇති සිය මෙහෙයුම් ව්‍යාප්තිය සඳහා වන සූදානමක් ලෙස එම සමාගම දැනටමත් නයිරෝබි නුවරදී සිය ශාඛාවක් විවෘත කළ බව පවසා තිබේ.

“අපි අපගේ නවතම ශාඛාවක් නයිරෝබි හිදී විවෘත කළා. ඒ වගේම අපි මේ වසර අවසන්වීමට පෙරාතුව තවත් ස්ථාන හතරකදී ශාඛා පිහිටුවීමට ඉලක්ක කරගනෙ තිබෙනවා. ඒ හරහා අපගේ සමස්ත ශාඛා සංඛ්‍යාව හතක් බවට පත්වේවි.” යනුවෙන්ද ප්‍රධාන විධායක නිලධාරිවරයා මෙහිදී පවසා තිබේ.

කෙන්යානු මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම අත්පත් කරගැනීමේදී ශ්‍රී ලංකාවේ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වෙත Key Microfinance සමාගමෙහි 73%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීම සඳහා නියාමන අනුමැතිය ලබා දී තිබේ.

විශේෂයෙන්ම කෙන්යාව තුළ ඉහළ යමින් පවතින ක්ෂුද්‍ර ණය පිළිබඳ ඉල්ලුම ඉහළ යාමත් සමගින්ම LOLC හෝල්ඩිංග්ස් සමාගම මෙලෙස සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරිමට තීරණය කර තිබේ.

කෙන්යානු මාධ්‍ය සඳහන් කරන ආකාරයට අද වනවිට LOLC හෝල්ඩිංග්ස් සමාගමේ බදුපෙර ආදායමෙන් 84%ක ප්‍රතිශතයක්ම විදේශයන්ගෙන් හිමි වන බව පැවසෙයි. ඒ අනුව ඉදිරියේදී එම සමාගම උගන්ඩාව, ටැන්සානියාව, සිම්බාබ්වේ සහ මොසැම්බික්හි සිය මෙහෙයුම් පුළුල් කිරීමටත් සැලසුම් කර ඇතැයි සඳහන් වෙයි.

Visits: 182