Silk Cooperation අති නවීන නිර්මාංශ ආහාර නිෂ්පාදනාගාරයක් විවෘත කරයි

මෙරට කාබනික හා තිරසාර කෘෂිකර්මාන්ත, ආහාරපාන සහ පෝෂණ ආහාර ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවර නියැළෙන සමාගමක්වන Silk Cooperation සමාගම,නූතන පාරිභෝගිකයින්ගේ වැඩි මනාපය සහිත ආහාර සහ ජීවන රටාවන්ට අත්වැලක් වෙමින්, මාතලේ නාඋල ප්‍රදේශයේදී නිර්මාංශ සහ ශාකමය ආහාර නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමටපසුගියදා පියවර ගත්තේය.

මෙම නිෂ්පාදන ‘plant based’ සන්නාමය යටතේ අලෙවි කෙරෙන අතර, දැනට ග්ලෝමාක් සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා මෙන්ම www.plantbased.lk වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයෙන් ද මිලදී ගත හැක. ඉදිරියේදී වඩාත් පුළුල් අලෙවි ජාලයක් සමඟ තොග බෙදාහැරීම් මෙන්ම අපනයන සැලසුමක් ද Silk Cooperation සතු වේ. ඒ හරහා තවදුරටත් ජාත්‍යන්තර වෙළෙඳපොළ ශක්තිමත් කරගනිමින්, අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීමටත් විදේශ විනිමය උත්පාදනයටත් මඟ පෑදෙනු ඇත.

″ආහාර සහ කෘෂිකාර්මික අපනයන ක්ෂේත්‍රයේ දශකයකට ආසන්න අත්දැකීම් සමඟින් අලුත් මානයක් කරා එළැඹීමට අපි පියවර ගනිමින් සිටිනවා. අපගේ නව ආහාර නිෂ්පාදනාගාරය පිහිටුවන ලද්දේත්, පාරිභෝගිකයින්ට සෞඛ්‍ය සම්පන්න මෙන්ම, පරිසරයටත් තිරසාර නිර්මාංශික ආහාර නිෂ්පාදනය කරන අතරේ, දේශීය ගොවීන්ගේ සහ ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපායට ධනාත්මක බලපෑමක් කිරීමේ අරමුණින් යුතුවයි″, යනුවෙන් Silk Cooperation ප්‍රධාන විධායක නිලධාරී සහන් ක්ලයිව් බක්මීවැව මහතා ප්‍රකාශ කළේය.

මෙම නිෂ්පාදනාගාරයේ විශේෂත්වයක් වන්නේ එහි කාබන් විමෝචනය අවම කිරීම සඳහා නවීන තාක්ෂණය යොදාගෙන තිබීමයි. එනම්, වගා සඳහා බිංදු ජල සම්පාදනය යොදාගනිමින් ජලය සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් මෙන්ම, පරිසර සංරක්ෂණයට අදාළ හොඳම භාවිතාවන් අනුගමනය කිරීමටත් සමාගම සැළකිලිමත් වී තිබේ. තව ද, ගොවිපොළ තුළ පිහිටා ඇති ඇතැම් හරිතාගාර ‘Nutrient Film Technique’ (NFT) වැනි සිරස් කෘෂි ජල සම්පාදන ක්‍රමවේද ද භාවිත කර තිබේ. මාතලේ ප්‍රදේශය තුළ වගාබිමක් සඳහා එවැනි ජල සම්පාදන ක්‍රමවේදයක් භාවිත කළ ප්‍රථම අවස්ථාව මෙය වීමද කැපීපෙනේ.

මෙම නිර්මාංශ ආහාර නිෂ්පාදනාගාරයට අවශ්‍ය ආහාර අමුද්‍රව්‍ය සපයා ගනු ලබන්නේ ප්‍රාදේශීය ගොවීන්ගෙනි. මෙම නිෂ්පාදනවල ජාන විද්‍යාත්මකව වැඩිදියුණු කළ ආහාර නොමැති බවටත්, මුළුමනින්ම ස්වාභාවික නිෂ්පාදන බවටත් තහවුරු කරගැනීම සඳහා කාබනික කෘෂිකාර්මික භාවිතාවන් යොදාගැනෙන අතර, fairtrade ප්‍රතිපත්ති ද අනුගමනය කෙරේ. ඊට අමතරව, ගොවීන්ට පුහුණු අවස්ථා සහ විද්‍යාත්මක දැනුම බෙදාදීමටද කටයුතු කෙරේ. එමගින් සමස්ත අගය දාමයේ සිටින සෙසු පාර්ශ්වකරුවන්ට ද සහයෝගීතා සංස්කෘතියක් අනුගමනය කිරීමට දිරිගන්වනු ලැබේ.

‘Plant based’ සන්නාමය යටතේ නිෂ්පාදනය කෙරෙන ජනප්‍රියතම නිෂ්පාදනයක් ලෙස නිර්මාශ පැටී (plant-based vegan patty) හඳුන්වා දිය හැක. පොළොස් සහ ඔයිස්ටර් බිම්මල් ප්‍රධාන වශයෙන් යොදාගනිමින්, කුළුබඩු ද එකතු කර, අවසානයේ පාන් කුඩු තවරනයකින් අනතුරුව තෙලේ බැද පිළිගන්වන මෙම ආහාරය, බර්ගර් පැටී සඳහා කදිම ආදේශකයකි.

මේ අතර, කිරි පිටි සඳහා විශිෂ්ට ආදේශකයක් ලෙස ඕට් හා සහල් කිරි පිටි නිෂ්පාදනයක් දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වාදීමට ද සමාගම ක්‍රියාකර තිබේ. ශ්‍රී ලංකාව තුළ එවැනි නිෂ්පාදනයක් සිදු කරනු ලබන එකම ආයතනය වන්නේ ද Silk Cooperation සමාගමයි.

මෙම නිෂ්පාදනාගාරයේ සහ ගොවිපොළෙහි මෙහෙයුම් Silk Foods Ceylon සමාගම යටතේ සිදුවේ. එම සමාගම, E-Silk Route Ventures (Silk Cooperation නමින් ලැයිස්තුගත) සමාගමේ අනුබද්ධිත ආයතනයකි. නිර්මාංශික ආහාර නිෂ්පාදනය පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට කැමැත්තක් දක්වන සංචාරකයින් වෙනුවෙන් නවාතැන් සපයමින්(‘Farm Stays’) ඔවුන්ට නිර්මාංශ ආහාර භුක්ති විඳීමට ඉඩ සැලසීමට ද සමාගම ඉදිරියේදී සැලසුම් කර තිබේ.

Visits: 107