ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශ්වික උපදේශනය අවසන් වෙයි

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පැවැත්වුණු ද්විපාර්ශ්වික උපදේශන වැඩසටහන පසුගියදා නිමාවට පත් වුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග සහ අග්නිදිග ආසියානු කටයුතු අංශයේ සහකාර අමාත්‍ය කානෝ ටකහීරෝ ප්‍රමුඛ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සමඟ මෙම ද්විපාර්ශ්වික උපදේශන වැඩසටහන පවත්වා තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ප්‍රමුඛ කණ්ඩායමක් මෙම උපදේශන වැඩසටහන සඳහා එක්ව තිබේ. මීට අමතරව මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ආරක්ෂක අංශයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම දූත පිරිසට ඇතුළත්ව සිට ඇත.

දෙරට අතර ද්විපාර්ශ්වික  දේශපාලන කටයුතු, ආර්ථික සහ ආරක්ෂක සහයෝගිතාව වැඩිදියුණු කිරීම මෙන්ම පුද්ගලාන්තර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වී තිබේ.

Visits: 77