ව්‍යාපාර/සංවිධාන සතු වාහන සඳහාත් ජාතික ඉන්ධන බලපත්‍රය තුළ ලිපාදිංචිවීමේ අවස්ථාව

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිත ආයතනය, සිපෙට්කෝ සමාගම සහ ලංකාඅයිඕසී සමාගම එක්ව හඳුන්වාදී ඇති ජාතික ඉන්ධන බලපත්‍රය තුළ ලියාපදිංචි වීමේ අවස්ථාව ව්‍යාපාර/සංවිධාන සතු මෝටර් රථ සඳහාත් ඉදිරියේදී ලබා දෙන බව එම අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

අද (17දා) පෙරවරුවේදී සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ. ඒ සඳහා වන යාවත්කාලීන කිරීම් මේ වනවිටත් එම වෙබ් අඩවිය තුළ සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියි.

ඊයේ දිනයේදී අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මෙම ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම සිදු විය. මෙහිදී fuelpass.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස මෙම ලියාපදිංචිය ආරම්භ කළ හැකිය. ඒ සඳහා පියවර කිහිපයක් ඉදිරියට යමින් තම තොරතුරු ලබාදීම සිදුකළ යුතුය.

ඒ අනුව එක් ජාතික හැඳුනුම්පත් අංකයකට එක් වාහනයක් සඳහා ඉන්ධන ලබා ගත ආකාරයට QR කේතයක් නිකුත් කිරීම සිදු කරයි. අනතුරුව එම කේතය ඉදිරිපත් කර ඉන්ධන ලබා ගත හැකිය.

එහිදී එම වාහනයේ චැසි අංකය සහ අනෙකුත් තොරතුරු ලබා ගැනීම සිදු කරයි. මෙම බලපත්‍රය සහිත පුද්ගලයන්ට සිය මෝටර් රථයේ අවසන් අංක දෙක ඉදිරිපත් කරමින් මෙම QR කේතය යොදා ගනිමින් සතියකට දෙවතාවක් ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම වැඩසටහන තුළ සමාගම් සහ සංවිධාන මගින් තමන්ගේ නමට ලියාපදිංචි කර ඇති මෝටර් රථ සඳහා ලියාපදිංචිවීමේ අවස්ථාවක් ලබාදී නොතිබූ අතර, මෙම ඉදිරි යාවත්කාලීන කිරිම හරහා එම අඩුපාඩුව මඟහැරීම අපේක්ෂාව වී තිබේ.

ඒ අනුව යම් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකයක් යටතේ ලියාපදිංචි කර ඇති මෝටර් රථ කිහිපයකටම එම රථ සඳාහා වන සුවිශේෂී QR කේතයක් ලබා දෙන ආකාරයට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර ඊයේ දිනයේදී හඳුන්වා දුන් මෙම ජාතික ඉන්ධන බලපත්‍රය වැඩසටහන තුළ ඇතැම් දෝෂ පවතින බවත් එය පරිශීලනය කළ පිරිස් වෙතින් චෝදනා එල්ල වී තිබුණි.

Visits: 72