ගෞතම් අදානි ඊශ්‍රායලයේ විශාලතම වරාය ඩොලර් බිලියන 1.2කට මිලදී ගනී

ඉන්දියාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ගෞතම් අදානි මහතාට අයත් අදානි සමූහය යටතේ ක්‍රියාත්මක අදානි පෝර්ට්ස් සමාගම මගින් ඊශ්‍රායලයේ විශාලතම වරාය ලෙස සැලකෙන හයිෆා වරාය මිලදී ඇතැයි වාර්තා වෙයි. ඊශ්‍රායල ෂෙකල් බිලියන 4.1ක් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.18ක මුදලකට මෙම ගනුදෙනුව සිදුව තිබේ.

අදානි සමූහය ඊශ්‍රායලයේ රසානික ද්‍රව්‍ය සහ භාණ්ඩ ප්‍රවාහන සමූහයක් වන ගැඩොට් සමාගම හා එක්ව ඉදිරිපත් කළ ලංසුව ජයගැනීමත් සමගින්ම ඊශ්‍රායල රජය මෙලෙස අදානි සමූහය වෙත එම වරාය අලෙවි කිරීමට තීරණය කර තිබේ.

විශේෂයෙන්ම ඊශ්‍රායලය සිය අපනයන වියදම් අඩු කිරීම සඳහා සහ සිය වරායන්හි පවතින අකාර්යක්ෂමතාව මඟහැරවීම වෙනුවෙන් මෙලෙස එම වරාය වෙනත් සමාගමක් වෙත පැවරීමට තීරණය කර තිබුණි. ඊට අදාළ ටෙන්ඩර් ක්‍රියාවලිය වසර දෙකක් පුරා ක්‍රියාත්මක විය. මෙම හයිෆා වරාය මද්‍යධරණී වෙරළේ පිහිටි වඩාත් වැදගත් වරායක් ලෙසත් සැලකෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඊශ්‍රායලයේ මුදල් අමාත්‍යවරයා,”මෙලෙස හයිෆා වරාය පෞද්ගලිකකරණය කිරීම හරහා වරායන් අතර තරගකාරීත්වය ඉහළ යාම වගේම ජීවන වියදම අඩු කිරීමක්ද සිදු වේවි.” යනුවෙන් පවසා තිබේ.

මෙම හවුල්කාරීත්වයට අදාළ එකඟතාවට අනුව ඉන්දියාවේ අදානි පෝර්ට්ස් සමාගමට එම වරායෙන් 70%ක හිමිකාරීත්වයක් ලැබී තිබේ. එසේම ගැඩොට් සමාගමට 30%ක හිමිකාරීත්වයක් ලැබී ඇත.

මේ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වා ඇති ගෞතම් අදානි මහතා, සිය හවුල්කරුවා වන ගැඩොට් සමගින් හයිෆා වරාය පෞද්ගලිකරණය සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරය ජයග්‍රහණය කිරීම ගැන සතුටට පත්වන බව පවසා තිබේ.

“මෙය රාජ්‍යයන් දෙකටම උපායමාර්ගිකව වගේම ඓතිහාසිකව වැදගත් අවස්තාවක්, හයිෆා හිමි කරගැනීමට හැකි වීම ගැන ආඩම්බර වෙනවා. 1918 පළමු ලෝක යුද්ධය අවස්ථාවේදී මෙම හයිෆා නගරය ආශ්‍රිතව පැවැති යුද්ධයේදී උසස් චතුරංගනී සේනාවේ නායකත්වය දැරුවේ ඉන්දියානුවන් බව හමුදා ඉතිහාසය තුළ සටහන්ව තිබෙනවා.” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

අදානි සමූහයේ අදානි පෝර්ට්ස් සමාගම මේ වනවිට ආසියානු සහ මැදපෙරදිග කලාපය ඇතුළු කලාප රැසකම සිය වරාය මෙහෙයුම් පවත්වාගෙන යයි.ඉදිකිරිමට යෝජිත ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ වැඩි හිමිකාරීත්වය පවතින්නේද අදානි සමූහයටයි.

Visits: 243