ලංකා IOC හරහා ඩොලර් ගෙවා ඩීසල් මිලදී ගත හැකි සමාගම් වෙත ඔන්ලයින් ලියාපදිංචියට අවස්ථාව

මෙරට සමාගම් වෙත තමන්ට අවශ්‍ය ඩීසල් තොග ඩොලර් ගෙවා මිලදී ගැනීම සඳහා දුන් අවස්ථාව තවදුරටත් පුළුල් කරමින් එම සමාගම් ඊට ලියාපදිංචි කරගැනීමේ කටයුතු සිය වෙබ් අඩවිය හරහා ආරම්භ කර ඇතැයි ලංකා IOC සමාගම පවසයි.

ඒ අනුව මෙරට අපනයනකරුවන්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක සේවා සම්පාදකයන්, බලපත්‍රලාභී දුරකතන සන්නිවේදන සේවා සපයන්නන් සහ අනෙකුත් විදුලි බල උත්පාදන සමාගම් යනාදිය වෙත අවශ්‍ය ඩීසල් ඩොලර් ගෙවා ලබා ගැනීමේ අවස්ථාව මෙලෙස ලබා දෙන බව එම සමාගම සඳහන් කරයි.

මෙහිදී එය Principle to Principle පාදක ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙනු ඇති බවත්, ඒ සඳහා වන අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමේ ෆෝරමය https://www.lankaioc.com/diesel-supplies-in-usd-terms/ යන ලිපියෙන් ලබා ගත හැකිය.

මූලිකවම අදාළ සමාගම ඩොලර් උත්පාදනය කරන සමාගමක්ද නැද්ද යන්න මෙහිදී විමසා සිටියි. එසේම ලංකා IOC සමාගම සඳහන් කරන ආකාරයට මෙහිදී ඉහත සඳහන් කළ සමාගම් වෙත ඩොලර් මගින් ගෙවීම් සිදු කරන ඩීසල් ලීටර් 6,600ක්, 13,200ක්, 19,800ක් හෝ වෙනත් ධාරිතාවක් මිලදී ගැනීමේ අවස්ථාව හිමි වෙයි. එහිදී සතිපතා හෝ මාස්පතා ලෙස මෙම ඩීසල් ලබා දීමේ හැකියාව පවතින බවත් සමාගම පවසයි. එසේම එම සමාගම් වෙත ඇති ගබඩා පහසුකම්වල ස්වභාවය මෙහිදී විමසා සිටියි.

මේ අතර ජූලි 16 වැනිදා සිට 31 දක්වා කාලය තුළ ඩීසල් සැපයීමේදී, ලීටරයක් සඳහා වන ගාස්තුව ඩොලර් 1.40ක් එනම් රුපියල් 505ක මුදලකට මිල කෙරෙනු ඇති බවත් සඳහක් වෙයි.

එසේම මෙලෙස අපනයනකරුවන් සහ කර්මාන්ත වෙත අවශ්‍ය ඩීසල් ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි දුරකතන අංක සහිත විස්තරයක්ද ලංකා IOC සමාගම මෙහිදී ප්‍රසිද්ධියට පත් කර තිබේ.

Visits: 283