Alumex PLC සහ Alco Industries Ltd ඒකාබද්ධ කිරීමට යෝජනා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Alumex PLC සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලත සමාගමක් වන Alco Industries Ltd සමගින් ඒකාබද්ධ වීමකට යෝජනා වී ඇතැයි එම සමාගම පවසයි.

මෙහිදී 2007 අංක 07 දරණ සමාගම් පනතේ වගන්ති 242 යටතේ මෙම ඒකාබද්ධ කිරීම සිදු වෙනු ඇති බවත්, ඉන් අනතුරුව ඉදිරියට එම සමාගම Alumex PLC ලෙසින් හැඳින්වෙනු ඇති බවත් සමාගම සඳහන් කරයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් Alumex PLC සමාගම මේ පිළිබඳව සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම මෙලෙස Alumex PLC සහ Alco Industries Ltd යන සමාගම් ඒකාබද්ධ කිරීම එම සමාගම් දෙකෙහි මෙහෙයුම් අතින් මෙන්ම මූල්‍යමය අතින්ද Alumex PLC සමාගම වෙත වාසිසහගත බව එම සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂ මණ්ඩලයේ දැක්ම වන බවත් පැවසෙයි.

මේ අතර 2021/22 මූල්‍ය වර්ෂය අවසන් වූ 2022 මාර්තු 31 වැනිදා වනවිට අදාළ සමාගම් දෙක සතු වත්කම් සහ ණය පිළිබඳවද මෙහිදී සඳහනක් කෙරී තිබේ.

ඒ අනුව Alumex PLC සමාගම සතු වත්කම් ප්‍රමාණය රුපියල් 11,236,383,000ක් ලෙස සටහන් වන අතර සමස්ත ණය ප්‍රමාණය රුපියල් 8,280,516,000කි. එසේම Alco Industries Ltd සමාගම සතු වත්කම් ප්‍රමාණය රුපියල් 1,341,714ක් වන අතර සමස්ත ණය ප්‍රමාණය රුපියල් 375,303,000 කි.

මෙම ඒකාබද්ධ කිරීම පිළිබඳ කටයුතු ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දෙන බවත් Alumex PLC සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 187