2022 පළමු අර්ධයේදී ගුවන් ගමන් බලපත්‍ර 437,382ක් නිකුත් කරලා – වැඩිම ජූනි

මේ වසරේ පළමු මාස හයක කාලය තුළදී ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ගුවන් ගමන් බලපත්‍ර 437,382ක ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි එම දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන පවසයි. ඒ අනුව මෙය 2021වසරේ එම කාලසීමාවට සාපේක්ෂව මෙය 289%ක වර්ධනයක් බව මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන ඩේලිඑෆ්ටී පුවත්පත සඳහන් කරයි.

විශේෂයෙන්ම රට තුළ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වයත් සමගින්ම බොහෝ පිරිසක් විදෙස් රැකියා සඳහා හෝ පදිංචිවීම සඳහා විදෙස්ගතවීම මෙලෙස ගුවන්ගමන්බලපත්‍ර නිකුත් කිරීම කැපී පෙනෙන ඉහළ යාමක් සඳහා හේතු වී තිබේ.

ඒ අනුව මෙය ගතවුණු සෑම මාසයකදීම ගුවන්ගමන් බලපත්‍ර 72,000ක් බැගින් නිකුත් කිරීමේ සාමාන්‍යයක් ලෙසද සටහන්ව තිබේ. එහිදී ජනවාරි මාසයේදී 52,278ක්, පෙබරවාරි මාසයේදී 55,381ක්, මාර්තු මාසයේදී 74,890ක්, අප්‍රේලි මාසයේදී 53,151ක් සහ මැයිමාසයේදී 52,945ක් ලෙස මෙම ගුවන් ගමන් බලපත්‍ර නිකුත්ව සිදුව තිබේ.

පුවත්පත පෙන්වා දෙන ආකාරයට එම දෙපාර්තමේන්තු දත්ත වාර්තා අනුව පසුගිය ජූනි මාසයේදී පමණක් නිකුත් කර ඇති ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 122,491ක් වන අතර, එය පෙර වසරේ එම මාසය හා සැසඳීමේදී 221%ක වර්ධනයකි. එසේම වසරේ ගත වුණු කාලසීමාව තුළදී මාසයක් සඳහා නිකුත් කර ඇති වැඩිම ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාවත් එය වෙයි.

එසේම වසරේ මුල් මාස හය තුළදී නිකුත් කර ඇති මෙම ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව පසුගිය වසර පුරාම නිකුත් කෙරුණු 382,506 හා සැසඳීමේ 14%ක ඉහළ යාමකි.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුව එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වැඩිම ගුවන් ගමන්බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ 2016 වසරේදීය. එය 658,725කි. ඒ අනුව මේ වසරේ මේ දක්වා නිකුත් කර ඇති ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාවත් සමගින්ම එම වාර්තාව බිඳ හෙළීමේ අවස්ථාවක් පවතින බවත් පුවත්පත වැඩි දුරටත් පවසයි.

Visits: 63