හැටන් නැෂනල් බැංකු (HNB) සන්නාමයේ හැඩය වෙනස් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව (HNB) අද දිනයේදී සිය සන්නාමයේ හැඩය වෙනස් කිරීමක් සිදු කර තිබේ.

ඒ අනුව මෙතෙක් සන්නාමය ලෙස යොදා ගත් HNB අකුරු පෙළ එලෙසින්ම වෙනස් අක්ෂර හැඩයකින් යොදා ගනිමින් එහි වර්ණ යෙදවීම වෙනස් කර ඇත.

අද දිනයේදී සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා හැටන් නැෂනල් බැංකුව සිය හැඩය වෙනස් වූ සන්නාමය මෙලෙස ජනගත කර තිබේ.

එහිදී පැරණි සන්නාමයේ තිබූ නිල් පැහැය මෙම අලුත් සන්නාමයේ HNB යන අකුරු සඳහා යොදා ගෙන ඇති අතර, කහ සහ නිල් පැහැය එම අකුරුවලට ඉහළ දකුණු පසින් පිහිටි සලකුණ සඳහා යොදා ගෙන තිබේ.

1888 වසරේදී %හැටන් බැංකුව% ලෙසින් ස්ථාපිත කෙරුණු මෙම බැංකුව මූලිකවම ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පැවැති තේ කර්මාන්තය මූලික කරගනිමින් ක්‍රියාත්මක වූවකි. 1970 වසරේදී එවකට පැවැති National & Grindlays Bank හි තෝරාගත් ශාඛා කිහිපයක් ඒකාබද්ධ කරගනිමින් එය හැටන් නැෂනල් බැංකුව බවට පත්විය. ඒ අනුව 1970 මාර්තු 05 වැනිදා එය සමාගමක් ලෙස ලියාපදිංචි කෙරිණි.

මේ වසරේ මාර්තු 31 වැනිදා වන විට හැටන් නැෂනල් බැංකුවෙහි ඡන්ද හිමි කොටස් අතරින් තනි වැඩිම කොටස් හිමිකාරීත්වයක් පවතින්නේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතාට අයත් බ්‍රවුන්ස් සමූහයටයි. එය කොටස් 42,024,032ක් එනම් 9.99%ක ප්‍රතිශතයකි. එසේම බැංකුවෙහි නිෂ්ඡන්ද කොටස් අතරින්ද කොටස් 48,156,437ක් එනම් 45.84ක හිමිකාරීත්වයක් ඇත්තේ බ්‍රවුන්ස් සමූහයෙහි බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී වෙතයි.

Visits: 148