සිපෙට්කෝ, සිපෙට්කෝ තොග ගබඩා පර්යන්ත සමාගමේ සහ PUCSL සභාපතිවරුන් කෝප් කමිටුවට කැඳවිම කල් යයි

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත අද (12) පෙරවරු 10.00 ට කැඳවීමට නියමිතව තිබූ නමුත්, එය නොපැවැත්වීමට තීරණය කළ බව කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතා පවසයි.

රටේ පවතින ‍දේශපාලන තත්ත්වය හේතුකොටගෙන සභාපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් පසුගිය කෝප් කමිටු රැස්වීමේදී සිදු කරන ලද පෞද්ගලික ප්‍රකාශය හේතු කොටගෙන ඛණිජ තෙල් මිල සම්බන්ධව රට තුළ විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ එම ප්‍රකාශය සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පිළිබඳ විගණකාධිපති වාර්තාව පදනම් කර ගනිමින් මෙම විමර්ශනය සිදු කිරීමට නියමිතව තිබිණි.

රටේ තත්ත්වය සමනය වූ පසු මෙම කෝප් කමිටු රැස්වීම පැවැත්වීමට තීරණය කළ බවද කෝප් සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 59