20 වසරකට පසු ඩොලරයේ සහ යූරෝවේ විනිමය අනුපාතයන් එක සමාන අගයකට

එක්සත් ජනපද ඩොලරය සහ යුරෝපයේ යූරෝ මුදල් එකකය අතර විනිමය අනුපාතය වසර 20කට පසුව එක සමාන අගයකට පත්වීමේ අවස්ථාවකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අද දිනයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යූරෝ වටිනාකම් දරුණු ලෙස පහත වැටිමත් සමගින්ම මෙම තත්ත්වය උදා වී තිබේ. ඒ අනුව අද (11දා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.00 වන විට එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන යූරෝ වටිනාකම යූරෝ .99ක් (යූරෝ ශත 99ක්) ලෙස සටහන්ව තිබුණි.

විශේෂයෙන්ම යුරෝපය පුරා පවතින ඉහළ උද්ධමනය රුසියාවේ යුක්රේන ආක්‍රමණය නිසා මතුව තිබෙන බලශක්ති සැපයුමේ අස්ථිරත්වය යනාදී කාරණා මෙලෙස එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යුරෝ වටිනාකම් පහත වැටීමට හේතුව වී තිබේ.

මෙහිදී රුසියාවේ සිට ජර්මනිය වෙත ගෑස් සැපයුම් සිදු කරන එකම සහ විශාලතම Nord Stream 1 නල මාර්ගය සිය වාර්ෂික නඩත්තු කටයුතු අද දිනයේදී ආරම්භකිරිම සහ දින 10ක කාලයකට එම නල මාර්ගයහරහා ගෑස් සැපයුම අත්හිටුවීම ප්‍රධාන වෙයි. කෙසේ වෙතත් මෙම වසා දැමීම රුසියා – යුක්රේන යුද ගැටුම් හේතුවෙන් දිගු වෙනු ඇතැයිද අදහස වී තිබේ.

එසේම එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව මගින් සිය පොළී අනුපාත තවදුරටත් ඉහළ දැමීමද මෙලෙස ඩොලරයේ වටිනාකම් ඉහළ යාමට හේතුව වී තිබේ. ලබන ජූලි 26-27 සිදු කරන හමුවේදීද ෆෙඩරල් සංචිත බැංකුව සිය පොළී අනුපාත පදනම් අංක 75කින් ඉහළ දැමීමට බලාපොරොත්තුව සිටින බවද පැවසෙයි.

අද දිනය ආරම්භ වනවිට යූරෝ මුදල් ඒකකය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 1.29%ක පසු බැසීමක් පෙන්නුම් කරමින් ඩොලර් 1.0056ක අගයකට පත්විය. එය 2002 වසරෙන් පසුව යුරෝ වටිනාකම් දුර්වල වූ පළමු අවස්ථාව වෙයි. එසේම ඩොලරයට ප්‍රධාන පෙළේ මුදල් ඒකක හයකට එරෙහිව 1%ක ඉහළයාමක් පෙන්නුම් කර ඇති අතර, එය 2002 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව ඩොලරය පත් වූ ශක්තිමත්ම අගය ලෙස සැලකෙයි.

Visits: 209