DFCC ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන සාර්ථක ලෙස අවසන් කළ පිරිසට සහතිකපත් පිරිනැමේ

DFCC බැංකුව ක්‍රියාත්මක කරන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහනේ 4 වන අදියර පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. අනුරාධපුර, බදුල්ල සහ වවුනියාව යන ප්‍රදේශ ආවරණය කළ මෙම වැඩසටහන, COVID-19 සම්බන්ධ සීමාවන් නිසා මෙවර පවත්වන ලද්දේ මාර්ගගත (Online) වැඩසටහනක් වශයෙනි.

DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපායේ එක් පියවරක් වශයෙන්, මෙරට අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වයස අවුරුදු 18 ත් 25 ත් අතර තරුණ තරුණියන්ට ආත්ම විශ්වාසයෙන් යුතුව ශ්‍රම බලකායට එක්වීමට හැකිවීම සඳහා ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම සහ මෘදු කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

මෙවර වැඩසටහන සාර්ථකව අවසන් කළ තරුණ තරුණියන් ඇගයීමේ උත්සව මාලාවක්, ඔවුන් පාඨමාලාවන්ට එක්වූ ප්‍රදේශ වල පිහිටි DFCC බැංකු ශාඛා වලදී පැවැත්විණි. මෙහිදී ඔවුන්ට වටිනා සහතිකපත් පිරිනමන ලද අතර, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් හමුවීමටද ඔවුන්ට අවස්ථාව ලැබිණි.

‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන මීට පෙර 2017, 2018 සහ 2019 වසර වලදී ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, ගාල්ල, අම්පාර, රත්නපුර, පොළොන්නරුව සහ යාපනය යන ප්‍රදේශ වල පවත්වන ලද අතර, සිසු සිසුවියන් 300 කට අධික පිරිසක් එම වැඩසටහන් වලට එක්වූහ. එහෙත් 2020 සහ 2021 වසර වලදී COVID-19 රෝග ව්‍යාප්තිය නිසා මෙම වැඩසටහන පැවැත්වීමට නොහැකි විය.

මෙම වසරේදී ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන අනුරාධපුර, වවුනියාව සහ බදුල්ල යන දිස්ත්‍රික්ක තුළ පවත්වන ලද අතර, තරුණ තරුණියන් 50 කට අධික පිරිසකට එමගින් ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අවස්ථාව ලැබිණි. මෙය එම තරුණ තරුණියන්ට ශ්‍රම බලකායට එක්වීම සඳහා අවශ්‍ය සුදුසුකමක් වන කථන ඉංග්‍රීසි සහ මෘදු කුසලතා වැඩිදියුණු කරගැනීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා කියා සිටියේ, අභියෝග හමුවේ පවා ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන නැවත ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි.

DFCC බැංකුවේ ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන මාස 3 ක් පුරා පැවැත්වෙන අතර, එහිදී ඉංග්‍රීසි භාෂා සන්නිවේදන කුසලතා, මූලික ව්‍යාකරණ සහ වාක්‍ය ව්‍යුහයන්, සවන්දීමේ කුසලතා, කියවීමේ කුසලතා සහ ලිවීමේ කුසලතා යනාදී අංශ ආවරණය කරයි. රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් මෙම පාඨමාලාව තුළදී සිසු සිසුවියන්ට යුගළ සහ කණ්ඩායම් වශයෙන් ක්‍රියාකාරකම් වල යෙදෙමින් තම කුසලතා වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබේ. මීට අමතරව මෙම තරුණ තරුණියන්ට මාසයක් පුරා තම මෘදු කුසලතා වැඩිදියුණු කරගැනීමේ වැඩසටහනකට සහභාගී වීමට අවස්ථාව ලැබෙන අතර, එහිදී කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩ කිරීම, කාල කළමනාකරණය, සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීම සහ ඉදිරිපත් කිරීමේ හා ලිවීමේ හැකියාව වැඩිදියුණු කරගැනීම වැනි මූලික කරුණු ආවරණය කෙරේ.

සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහනට සුදුසුකම් ලැබූ තරුණ තරුණියන්ට, බාධාවකින් තොරව මාර්ගගත ක්‍රමයට ඊට සහභාගී වීමට හැකි වීම සඳහා දත්ත දීමනාවක් සහ ‘හෑන්ඩ්ස්ෆ්‍රී සෙට්’ එකක්ද නොමිලේ හිමි වේ. DFCC බැංකුවේ ෆේස්බුක් පිටුව ඔස්සේ වැඩසටහන සඳහා අයදුම්පත් භාරගනු ලබන අතර, මූලික මාර්ගගත තක්සේරුවකින් අනතුරුව සුදුස්සෝ තෝරාගැනෙති.

සිය තිරසාර ක්‍රමෝපාය ඔස්සේ, අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කරමින්, අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දිය හැකි ප්‍රජාවන් නිර්මාණය කිරීම සඳහා DFCC බැංකුව කැපවී සිටී. මෙම අරමුණ වෙනුවෙන් DFCC බැංකුව ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහනට අමතරව තවත් අධ්‍යාපනික සහ ප්‍රජා සත්කාර වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇත. ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන තුළදී ඉහළම දක්ෂතා දක්වන තරුණ තරුණියන්ට DFCC බැංකුව තුළ සීමාවාසික පුහුණු අවස්ථාවන්ද හිමි වීම විශේෂත්වයකි.

Visits: 51