ACME Printing and Packaging සමාගම JF Packaging ltd මිලදී ගැනීමේ මූලික සාකච්ඡාවක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ACME Printing and Packaging PLC සමාගම සිය මව් සමාගම වන ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමෙහි පරිපාලිත සමාගමක් JF Packaging සමාගම තුළ ඇති ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමේ 51% කොටස් ප්‍රතිශතය මිලදී ගැනීම සඳහා මූලික සාකච්ඡා සඳහා පිවිස ඇතැයි පවසයි.

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත නිවේදනයක් මගින් දැනුම් දෙමින් ACME Printing and Packaging PLC සහ ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම් මේ පිළිබඳව අනාවරණය කර තිබේ.

මෙහිදී අදාළ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් මෙම දෙපාර්ශ්වයේම එකඟතාවට පත්වීම අනිවාර්යය විය යුතු බවත්, ඊට අමතරව ඒ සඳහා වන කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය මෙන්ම සමාගම් දෙකෙහිම කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක්ද අවශ්‍යව ඇතැයිද මෙහි සඳහන් වෙයි.

ඒ අනුව මෙම සාකච්ඡා මූලික අදියරේ පවතින බවත්, එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවත් සමාගම් දෙකම සඳහන් කරයි.

අද වනවිට ACME Printing and Packaging PLC සමාගමේ 88.27%ක කොටස් ප්‍රතිශතයක් හිමි කරගැනීමට ලංකෙම් සමූහය සමත්ව සිටියි. එසේම 2015 වසරේදී පළමුවරට රුපියල් මිලියන 600කට JF Packaging සමාගමේ 72%ක් මිලදී ගැනීමට ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම පියවර ගත් අතර, 2017දී එම සමාගමේ සමස්ත කොටස් හිමිකාරීත්වයම අත්පත් කරගැනීමට ලංකෙම් සිලෝන් පීඑල්සී සමත් විය.

මෙහිදී ලංකෙම් සමාගම JF Packaging සමාගම තුළ සිදු කර ඇති ආයෝජනය රුපියල් බිලියන 1.12ක් ලෙස සටහන්ව තිබේ.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ACME Printing and Packaging PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 6.30ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ පැවැති රුපියල් 6.20ට සාපේක්ෂව ශත 10ක හෙවත් 1.61%ක ඉහළ යාමකි.

Visits: 140