කැසිනෝ කර්මාන්තයේ බදු නිසි ලෙස අය කරගැනීමට පනත් සංශෝධනයට සැරසෙයි

ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාරය විධිමත් කිරීමේ අරමුණින් ඊට අදාළ පනත් සංශෝධනය කිරිමට සූදානමින් සිටින බව රජය පවසයි. මේ හරහා කැසිනෝ කර්මාන්තය මගින් අයවිය යුතු බදු නිසි ආකාරයෙන් අය කරගැනීම අරමුණ බව රජය සඳහන් කරයි.

මේ සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අගමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව ඇතැයි අද පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.

අද වනවිට 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යපාර (නියාමනය කිරීමේ) පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මගින් ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය නියාමනය සඳහා වන විධි විධාන පනවා තිබේ.

“එහෙත් 2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහ බලපත්‍ර ලබා දිය යුතු නමුත්, එකී පනතේ විධිවිධාන බලාත්මක කිරිම සඳහා අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් මේ දක්වා කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට එකී පනත යටතේ බලපත්‍ර නිකුත් කර නොමැත. ඒ අනුව එම තත්ත්වය යටතේ දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අය කරගැනීම අපහසු වී තිබේ.” රජය පවසයි.

එබැවින් එවැනි ව්‍යාපාර නියාමනය කිරිමට සහ රජයට අයවිය යුතු නියමිත බදු අයකර ගැනීමේ අරමුණින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරිමටත්, 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වාදීම සඳහාත් මෙලෙස යෝජනා ඉදිරිපත්ව තිබේ.

Visits: 113