සුඛෝපභෝගී මගී නෞකා දෙකක් හම්බන්තොට වරායට

සංචාරකයන් 800කට අධික සංඛ්‍යාවක් රැගෙන යා හැකි MV Arius සහ MV Gem නම් සුඛෝපභෝගී මගී නෞකා දෙක මේ වනවිට හම්බන්තොට වරායේ නැංගුරම්ලා ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි. මාසයක කාලයක් මෙම නෞකා වරායේ නැංගුරම් ලා සිටිනු ඇතැයි සඳහන් වෙයි.  

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ සාමාන්‍යාධිකාරී (වාණිජසහ අලෙවිකරණ) Lance Zuo මහතා, “කුඩා ප්‍රමාණයේ සිට මධ්‍යම ප්‍රමාණයේ නෞකා වෙත මෙන්ම දැවැන්ත ප්‍රමාණයේ බොරතෙල් නෞකා ඇතුළු සියලුම ආකාරයේ නෞකා වෙත කලාපය තුළ හොඳම පහසුකම් සැලසිමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය කටයුතු යොදනවා. අපි මෙතැනදී ආරක්ෂිතව නෞකා නැවැත්වීම, නෞකාව වෙත සහ එහි කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂාව සැපයීම, නෞකාවට අවශ්‍ය සැපයුම් සිදු කිරීම යනාදිය සිදු කරනවා.”

“මෙවැනි මාදිලියේ නෞකා හරහා හම්බන්තොට වරාය මගින් ලබා දිය හැකි විවිධාංගීකරණය වූ සේවා කළඹ සම්බන්ධයෙන් නෞකා හිමිකරුවන් සහ නෞකා කළමනාකරුවන් තවදුරටත් දැනුවත් කිරීමට දායකත්වය සලසනවා.” යනුවෙන්ද ඔහු පවසා සිටියි.

එසේම මෙලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය මගින් සලසන මෙම සේවාවන් හරහා හම්බන්තොට වෙසෙන ජනතාවටද ප්‍රතිලාභ හිමි වන අතර,ඔවුන්ට මෙම නෞකාවල සිටින පිරිසට අවශ්‍ය නැවුම් නිෂ්පාදන සහ අනෙකුත් පහසුකම් සැලසීමේ අවස්ථාව හිමිවෙයි.

විශේෂයෙන්ම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමගින් විවිධ සේවාසම්පාදකයන් රැසක් ලියාපදිංචි වී සිටින අතර, නෞකා අලුත්වැඩියා කිරීම් මෙන්ම දිගුකාලයක් නවත්වා ඇති නෞකා වෙත ලබා දෙන සේවාවන් ඇතුළු සේවාවන් පවතින බවත් එම සමූහය පවසයි.

Visits: 167