ලංකා අයිඕසී සඳහා වන ආයෝජක ආකර්ෂණය තවදුරටත් ඉහළට

අද (ජූලි 04) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී දර්ශක අගයන් දෙකම පෙර දිනයට සාපේක්ෂව පහත වැටීමක් සිදුවිය. එහිදී මූලිකවම රටෙහි දේශපාලන සහ ආර්ථික දුර්වලතාවන් හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වයත් සමගින්ම වෙළෙඳපොළ තුළ ලංකා අයිඕසී කොටස් සඳහා වන ඉල්ලුම පිට පිට සිව්වැනි දිනයටත් අද දිනයේදී සටහන්ව තිබේ. එහිදී දිනයේ පිරිවැටුමෙන් 47%ක් සඳහාම දායක වූ බලශක්ති අංහය යටතේ එම සමාගම තනිවම දායකත්වයක් දක්වා තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,357.82ත් ඒකක 7,496.85ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,359.55ක් බවට පත්විය. එය පෙර දිනයට (ජූලි 01) දිනයට සාපේක්ෂව ඒකක 97.93ක් එනම් -1.31%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදුවුණු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ගනුදෙනුවක් දිනයේ පිරිවැටුමෙන් රුපියල් මිලියන 73.2ක් එනම් 6%ක් සඳහා දායක විය.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ලංකා අයිඕසී පීඑල්සී LIOC (+9.4), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+4.2), යුනියන් බැංකුව BC (+0.9), බයිරහා ෆාම්ස් පීඑල්සී BFL (+0.8), මහවැලි කොකනට් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී MCPL (+0.7), සම්පත්බැංකුව SAMP (-13.1), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-13.0), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-9.4), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (-4.5), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-4.2) යනාදී සමාගම්ය.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 49ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 120ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,345.08ක අගයක් ගත් අතර, එය පෙර දිනට සාපේක්ෂව ඒකක 35.18ක එනම් -1.49%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.31ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 1.43 සාපේක්ෂව 8% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.19ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 41.91%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 38.12ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 9.66ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 28.46කි. ඒ අනුව වසර තුළ මේ දක්වා පිටතට ගලා ගිය සමස්ත විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 1.15 ක් බවට පත්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය රිචර්ඩ් පිරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  13.82කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වය හේකාර්බ් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 4.32ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 611ක් සඳහා බලශක්ති අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 47%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ  ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 210ක සහ රුපියල් මිලියන 174ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 121