‘එක් චීනයක් ප්‍රතිපත්තිය‘ වෙනුවෙන් පෙනී සිටින බවට ශ්‍රී ලංකාව සහතික වෙයි

ශ්‍රී ලංකාව ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ වෙනුවෙන් අඛණ්ඩව නැඟී සිටින බවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙරට චීන තානාපති චී ෂෙන්හොංග් මහතා වෙත සහතික වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

චීන තානාපතිවරයා පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර තිබේ. එසේම චීනයේ ස්වෛරීයත්වය සහ භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීම සඳහා නොසැලී සහය වන බවටත් විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිඥා ලබාදී තිබේ. ඒ අනුව ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ ස්ථාවරයද තානාපතිවරයා අගය කර තිබේ.

මෙම හමුවේදී පැවැති සුහද පිළිසඳරේදී, අමාත්‍ය පීරිස් මහතා චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහායද අගැයීමට ලක් කර තිබේ. එසේම රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර බලපෑම් ඇතිකර තිබෙන ඉන්ධන, ආහාර, ඖෂධ සහ උපකරණ හිඟය පිළිබඳවත් විදේශ අමාත්‍යවරයා චීන තානාපතිවරයාට විස්තර කර තිබේ.

මෙම අභියෝග ජය ගැනීම සඳහා ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර නියෝජිතායතන සමඟ නිරන්තර සාකච්ඡා පැවැත්වෙන බවද අමාත්‍යවරයා පවසා තිබේ..

මේ අතර, රුවන්ඩාවේ කිගාලි හි දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීම අතරතුර දී තමන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සහ මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය වන සහාය පිළිබඳව රටවල් 12 ක රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මූල්‍යමය සහාය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අඛණ්ඩව පැවැත්වෙන සාකච්ඡා මෙන්ම, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ වඩාත් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කොට ඇති පියවර පිළිබඳවද අමාත්‍යවරයා තානාපතිවරයා දැනුවත් කළ බවත් අමාත්‍යාංශය පවසයි.

මෙහිදී හැකි සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය ලබා දීම සඳහා චීන රජය ශ්‍රී ලංකාව සමඟ එක් වී සිටින බවට තානාපති චී මැතිතුමා සහතික වී තිබේ.

වි‍දේශ අමාත්‍යවරයා, චීන රජය විසින් ලබා දෙන නොමසුරු සහාය පිළිබඳව ශ්‍රී ලංකාවේ නොමඳ කෘතඥතාව පළ කර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම රැස්වීම සඳහා සහභාගී වී තිබේ.

Visits: 59