ඉවතලූ PET බෝතල්වලින් නිම වූ Akasa Air කාර්ය මණ්ඩලයේ නිල ඇඳුම එළිදැක්වෙයි

ඉන්දියාවේ නවතම ගුවන් සමාගම ලෙස මෙහෙයුම් ඇරඹීමට සූදානමින් සිටින Akasa Air ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ නිල ඇඳුම් අද (04දා) දිනයේදී නිල වශයෙන් එළිදැක්වීම සිදුවිය.

ඒ අනුව ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ කලිසම්, ජැකට්ටු මෙන්ම ඊටම ගැලපෙන ආකාරයෙන් නිපදවූ වඩාත් පහසු පාවහන් යුගලයක් යනාදියද මෙහිදී එළිදැක්වුණි.

විශේෂයෙන්ම තාරුණ්‍යය සඳහා ගැළපෙන ආකාරයෙන් වඩාත් නිර්මාණශීලීව, උණුසුම්බව පිළිබිඹු වන ආකාරයේ වර්ණ යොදා ගනිමින් එම ඇඳුම් නිර්මාණය කර ඇතැයි සමාගම පවසයි.

මෙහිදී අදාළ නිල ඇඳුම් සියල්ලක්ම පාහේ ප්‍රතිචක්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් කෙඳි යොදා ගනිමින් නිර්මාණය කර තිබීමත් කැපී පෙනෙන අවස්ථාවකි. සාගරයේ තිබී ගොඩගත් ඉවත ලූ පෙට් (PET) බෝතල් මෙම කෙඳි සඳහා භාවිත කළ බව Akasa Air ගුවන් සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙම පියවර සිය සමාගමේ මූලික ඇදහීම් වන සේවක කේන්ද්‍රීය බව සහ තිරසාරත්වය යන කාරණා තුළින් මතු වූ අවස්ථාවක් ලෙසද ගුවන් සමාගම පවසයි.

ඉන්දියාවේ ජනප්‍රිය විලාසිතා නිර්මාණශිල්පියෙකු වන රාජේෂ් ප්‍රලාප් සිං අතින් මෙම නිල ඇඳුම් නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම දිගු ගුවන් පියාසැරිවලදී ගුවන් සේවකයන්ට වඩාත් පහසුවක් හිමිවන ආකාරයට මෙම ඇඳුම් නිර්මණය වී ඇතැයිද සඳහන් වෙයි.

එසේම මෙම නිල  ඇඳුමට අයත් පාවහන් යුගලයේ නිර්මාණ හැඩය `Vanilla Moon% ලෙසින් හඳුන්වාදී තිබේ. මෙහිදී වඩාත් සැහැල්ලු ආකාරයෙන් සහ එහි අඩියේ සිට වළලු කර දක්වා අමතර කුෂන් යෙදීමක් යනාදිය හරහා මෙම පාවහන් මගින් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට වඩාත් පහසුවක් අත් කර දෙන බවත් සමාගම පවසයි. විශේෂයෙන්ම සිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සතු නිරන්තරව එහා මෙහා ගමන් කිරීමේ ජීවන රටාව මෙන්ම වැඩි වේලාවක් සිටගෙන සිටීම යනාදී කාරණා ඊට හේතු වී තිබේ.

Akasa Air ගුවන් සේවය ලබන සැප්තැම්බර් මාසයේදී සිය පළමු වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරිමට සැලසුම් කර ඇතැයි පවසයි. දැනටමත් එම ගුවන් සමාගම මගින් බොයිං 737 Max මාදිලියේ ගුවන් යානා 72ක් ඇනවුම් කිරීමටද කටයුතු කර තිබේ. මෙම නවීනතම මාදිලියේ ගුවන් යානා මගින් ඉන්ධන වැයවීම සහ කාබන් විමෝචනය අඩු කරමින් වඩාත් ඉහළ කාර්යක්ෂමතාවක් ලබා දෙන බව සඳහන් වෙයි.

ඒ අනුව මෙම කාරණා සියල්ලමත් සමගින් ඉන්දියානු අහස තුළ පියාසැරීමට සූදානමින් සිටින ලාබාලතම සහ හරිත ගුවන් සේවයක් ලෙස Akasa Air එයාර් ගුවන් සමාගම වඩාත් පරිසර හිතකාමී සමාගමක් පත් කිරීමේ පොරොන්දුව සම්පූර්ණ වන බවත් එම සමාගම පවසයි.

Visits: 137