යුපුන් මීටර් 100 ඉසව්ව තත්පර 9.96කින් නිමා කරයි

ශ්‍රී ලංකාවේ කෙටිදුර ශූර යුපුන් අබේකෝන් ස්විස්ටර්ලන්තයේදී පැවැත්වුණු 42 වැනි Resisprint International Championship හිදී මීටර් 100 ඉසව්වේ අවසන් තරගය තත්පර 9.96ක කාලයකින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගන්නට අද (03) සමත් විය.

ඒ අනුව එතෙක් මෙතෙක් මීටර් 100 ඉසව්ව තත්පර 10කටත් වඩා අඩු කාලයකදී සම්පූර්ණ කළ එකම ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු දකුණු ආසියානු කෙටිදුර ධාවකයා බවටද පත්වෙමින් යුපුන් අද දකුණු ආසියානු කෙටිදුර ධාවන ඉතිහාසය වෙනස් කිරීමටද සමත් විය.

මෙම තරගාවලියේ මූලික වටය අද දහවල් පැවති අතර එහි දී තත්පර 10.11ක කාලයක් සමඟින් ප්‍රථමයා ලෙස ඉසව්ව අවසන් කරන්නට ඔහු සමත් විය. අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6:45ට පමණ පැවැත්වුණි.

මීට පෙර මීටර් 100 ඉසව්ව සඳහා යුපුන්ගේ හොඳම කාලය ලෙස සටහන්ව ඇත්තේ 2022 මැයි 26 වැනිදා ජර්මනියේ පැවැති මළල ක්‍රීඩා තරගාවලියකදී ඔහු වාර්තා කළ තත්පර 10.06ක කාලයයි.

මේ මස අගදී ආරම්භ වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවීමට යුපුන් අබේකෝන් සූදානමින් සිටියි.

Visits: 35