මහජන බැංකුව සිය 61 වන සංවත්සරය සමරයි!

ශ්‍රී ලාංකීය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ නව මං සලකුණක් තැබූ මහජන බැංකුව පිහිටුවා ජුලි මස 01 වන දිනට 61 වසරක් සපිරෙයි.

මෙරට සාමාන්‍ය පොදු ජනතාවට බැංකුකරණය හුරු කළ මහජන බැංකුව, සිය 61 වන වසර සපුරන විට ඩිජිටල් මූල්‍ය සේවාවන් මෙරට ග්‍රාමීය ප්‍රදේශ වෙත ව්‍යාප්ත කරමින් ඩිජිටල් කරණයේ ප්‍රතිලාභ මුළු ජාතියටම ගෙන ඒම සඳහා පුරෝගාමි මෙහෙවරක නිරතව සිටීම මෙන්ම දේශයේ අභිමානය ලෙස මෙරට සමාජ, ආර්ථික පුනරුදයට අඛණ්ඩව දායකත්වය සැපයීම සුවිශේෂ කරුණකි.

ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය, ග්‍රාමීය බැංකු ක්‍රමය හා ගැමි ජනතාව නගා සිටුවීම අරමුණු කරගනිමින් 1961 අංක 29 දරණ පනත යටතේ මහජන බැංකුව පිහිටු වීය. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට පැවැති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති තුමියගේ රජයේ වෙළෙඳ, ආහාර සමුපකාර හා නාවික කටයුතු අමාත්‍යවරයා වූ ගරු ටී.බී. ඉලංගරත්න ශ්‍රීමතාණන්ය.

මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූයේ එවකට සමූපකාර ක්ෂේත්‍රයේ විසල් මෙහෙයක් සිදුකරමින් සිටි වින්සන්ට් සුබසිංහ මහතාය.ඉංග්‍රීසි, උගත් ඇති හැකි පැළැන්තියට පමණක් සීමාවී තිබුණු බැංකු ක්‍රමය දෙදරා යැමට මුල පිරුනේ මහජන බැංකුවේ ආරම්භයයි. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල හා දෙමළ භාෂාවෙන් වැඩ කිරීම ආරම්භ කළ ප්‍රථම බැංකුව බවට පත්වීමට මහජන බැංකුවට හැකි විය.සාමාන්‍ය ජනතාව ඉතුරුම් සඳහා දිරිමත් කිරීමට ද, ඒ සමගම රන් භාණ්ඩ උකස් සේවා කටයුතු වලට ද මහජන බැංකුව 1963 දී අවතීර්ණ විය.

රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සහිත සාධාරණ පොලී අනුපාත අනුව රන් භාණ්ඩ උකස් සේවාව ක්‍රියාත්මක වීම නිසා එතෙක් අවිධිමත් ව තිබූ රන්භාණ්ඩ වෙළදපල විධිමත් විය.මේ වන විට මහජන බැංකුව රුපියල් ට්‍රිලියන තුනකට අධික වත්කම් ප්‍රමාණයකින් යුතු ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනයක් වන අතර, දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා සංඛ්‍යාව 743 කින් සහ 8000කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතය. එමෙන්ම 268ක් පමණ වන මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන් (SBU) තුළින් වසරේ සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම බැංකු ශාඛාවට නොගොසින්ම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත.

සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 14 කට අධික වන අතර, එය මෙරට වාණිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාවයි. විවිධ වයස් කාණ්ඩවලට හා විවිධ ක්ෂේත්‍රයන්හි නියැලෙන ගනුදෙනුකාර භවතුන්ට ගැලපෙන පරිදි සන්නම් නාම ගත කරන ගිණුම් හඳුන්වාදීමට මහජන බැංකුව පියවර ගෙන තිබේ. විවිධ ණය යෝජනා ක්‍රම දියත් කරමින් තම ගනුදෙනුකරුවන් වෙත උසස් ජීවන තත්වයක් ලබා දීමට මෙන්ම ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය දිරිය ලබාදීමට ද මහජන බැංකුව ක්‍රියා කරයි.

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා

වගකිය යුතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම ලබාදීමෙන්ම නොනැවති මෙරට සමාජ ආර්ථික ප්‍රගතිය උදෙසා ද සිදුකර ඇති මෙහෙවරද සුළු පටු නොවේ. රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව පසුගිය හැට වසර පුරාවටම අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය,අධිවේහි, මාර්ග, සංචාරක, යටිතල පහසුකම් ආදි ක්ෂේත්‍රයන් සඳහා මූල්‍ය පහසුකම් ලබා දෙමින් රටේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වයද සුවිශාලය. ලෝකයේ පුරා විසිරි ඇති බැංකු 900 කට අධික සංඛ්‍යාවක් සමඟ සාර්ථකව ගනුදෙනු කරන මහජන බැංකුව, පුද්ගලික හා රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් වලට ණයවර ලිපි හා ඇපකර නිකුත් කරමින් රටේ ආනයන හා අපනයන කටයුතු සඳහා විශාල දායකත්වයක් පිරිනමයි.

විශේෂයෙන් රටට අත්‍ය වශ්‍ය ද්‍රව්‍ය වන ඉන්ධන, ඖෂධ, ගෑස් වැනි දෑ ගෙන් වීමේදී මහජන බැංකුව ඒ සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් කරමින් මෙරට ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍ය සේවා සපයයි.එමෙන්ම මහජන බැංකුව, නව ලොවට ගැලපෙන පරිදි සිය ගනුදෙනුකාර භවතුන්ට වඩාත් පහසු ආරක්ෂිත හා කාර්යෂම බැංකු පහසුකම් සමීප කිරීමේ අරමුණින් 2015 වසරේදී ඩිජිටල් බැංකුකරණ ව්‍යාපෘතිය දියත් කරන ලදී.මෙම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ ප්‍රධාන නිපැයුම් වලින් එකක් වන People’s Wiz නිමැයුම තුළින් ඩිජිටල් තාක්ෂණයෙන් බැංකු ගිණුමක් විනාඩි 10 වැනි වේලාවකින් විවෘත කිරීමේ හැකියාව සලසා තිබේ.

එමෙන්ම මහජන බැංකුවේ People’s Wave ජංගම දුරකතන යෙදවුම සමග මිලියනයකට අධික ගනු දෙනුකරුවන් පිරිසක් ලියාපදිංචි වී සිටිනු ඇත. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනු කරුවන්ට පුද්ගල ණය හා ආයතනික ණය පැය 24 ක් ඇතුළත ලබාදීමේ අරමුණින් People’s Wiz Credit හඳුන්වා දෙන ලදි.මීට අමතරව People’s Wyn නමින් ආයතතික ගනුදෙනුකරුවන් සඳහාම විශේෂයෙන් ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දුන් අතර, People’s Web අන්තර්ජාල බැංකු පහසුකම් හඳුන්වා දුන්නේය. එමෙන්ම රට තුළ ඩිජිටල් ගනුදෙනු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගන්නා වැයමට සහයෝගය දක්වමින් People’s Pay ජංගම දුරකථන යෙදවුම් ද ( ඇප්) හඳුන්වා දී ඇත.

මහජන බැංකුවේ විශිෂ්ටත්වය නිරතුරුවම දෙස් විදෙස් සම්මානයට පාත්‍ර විය. ස්ලිම් නිල්සන් ජනතා සම්මාන, ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන, ලංකාපේ ටෙක් නොවේෂන් සම්මාන වැනි දේශීය සම්මාන මෙන්ම තවත් අන්තර් ජාතික සම්මාන ගණනාවක් හිමි කරගෙන තිබේ. විශේෂයෙන් පසුගිය වසර කිහිපය තුළදී පමණක් Asian Banker Excellence in Retail Financial Services Awards, Asia Money Best Bank, World Finance, International Business Magazine, Global Business Review Magazine Awards 2022, Global Banking & Finance Review magazine in UK, Asia digital finance forum and award AFTA) ආදී සම්මාන උළෙල ගණතාවක ද මහජන බැංකුව ඇගයීමට ලක්වීය.

මීට අමතරව The Banker Magazine විසින් 2021, 2020. 2019 හා 2018 වසර වලදී මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට නම් කිරීම කෙරුණු අතර ශ්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය (ICCSL) වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CIMA) හා Daily FT පුවත්පත විසින් 2018. 2019, 2020 සහ 2021 වර්ෂයන්හිදී අඛණ්ඩව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක් වූ ආයතන 10 අතරට මහජන බැංකුව ඇතුළත් කරන ලදි.

එමෙන්ම අන්තර්ජාතික ප්‍රමිතිකරණ තොරතුරු ආරක්ෂණ කළමනාකරණ 150/EC 27001 2013 තත්වයෙන් පිදුම්ලත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම රාජ්‍ය බැංකුව වන්නේ මහජන බැංකුවයි.ඉදිරියටත් ඩිජිටල් බැංකුකරණයේ පහසුකම් ලබා දෙමින් ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මුල්‍ය සේවා ලබාදීමෙන් මෙන්ම සුවපහසුව, උසස් තත්ත්වය සහ විශ්වාසය ආදී ගුණාංගයන්ගෙන් පිරිපුන් මෙන්ම විශිෂ්ට බැංකුකරණ සේවාවක් ලබාදීම හරහා නවීනතම බැංකුකරණ අත්දැකීම් ශ්‍රී ලාංකිකයින් වෙත සමීප කරමින් රටේ දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන්ද කටයුතු කිරීමට මහජන බැංකුව ඇප කැපවෙයි.

Visits: 122