ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා ගැන ඉවත්ව යන ඕමාන තානාපතිගෙන් පොරොන්දුවක්

ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති අහමඩ් අලි සයීඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) මහතා ජනාධිපතිතුමා සමඟ පැවසූ බව ජනපති කාර්යාලය පවසයි.

සේවය අවසන් කර දිවයිනෙන් පිටත් ව යාමට නියමිත ඕමාන තානාපතිවරයා අද (01) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙමින් මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලාංකිකයන් 25,000ක පමණ පිරිසක් මේ වන විට ඕමානයේ රැකියාවන්හි නිරත ව සිටිති. මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා පුහුණු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩි කර ගැනීමට ද සහාය වන ලෙස තානාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

එසේම සයීඩ් අල් රෂ්ඩ් මහතාගේ වසර 08ක සේවා කාලය තුළ ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා මෙරට වෙළෙඳ සහ ආයේජන අවස්ථා සඳහා ඇති පුළුල් අවකාශය පිළිබඳ සාකච්ඡා කළ බවත් සඳහන් වෙයි.

මේ අතර ඉදිරියේදී තමා ඕමාන විදේශ අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට යෝජිතව සිටින බවත්, දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට එහි සිටද කටයුතු කරන බවත් රෂ්ඩ් මහතා ජනාධිපතිතුමා සමඟ සඳහන් කළ බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

Visits: 85