“අපේ දුක අපිටම නැති කරගන්න පුළුවන්” – ආයෝජන ප්‍රවර්ධන ඇමති ධම්මික පෙරේරා

රටෙහි ජනතාව එකට එකතු වී මෙම රට ගොඩගැනීමක් ගැන සිතුවොත් දැනට  එම ජනතාවම විඳින දුක නැති කරගැනිමට හැකියාව ලැබෙනු ඇතැයි නව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි. අද පෙරවරුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී පැවැති උත්සවයකදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

“අපේ දුක අපිටම නැති කරගන්න පුළුවන්. අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩගන්නවා කියන දේ හිතුවොත් මම හිතන්නේ එය පුළුවන්. මොකද අපේ රටට යම් පිළිගැනීමක් තිබෙනවා. ඒත් රට ජරාජීර්ණ වෙලා මිනිසුස් පෝළිම් වල නිදිනම් සංචාරකයෝ රටට එන්නේ නෑ. එන ප්‍රමාණය 15%ක් 20%ක් වගේ. මම හිතනවා හැමොත් එක්කම එකතුවෙලා ජාතියක්හැටියට මේ වෙලාවේ නැගිටින්න පුළුවන් නම් ඒක තමයි ජාතියේම යුතුකම කියලා.” ඒ මහතා පැවැසීය.

විශේෂයෙන්ම 2018 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් මිලියන 2.3ක සංඛ්‍යාව යළිත් මෙරටට ගෙන්වා ගැනීමට හැකි නම් මෙම ඩොලර් අර්බුදය විසඳී පෙට්‍රල් පෝළිම් නැති කළ හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

“ජනතාවට තමයි අපි දැනුවත් කරන්න ඕනේ ඕගෝල්ලෝ පැට්‍රල් පෝලිම්වල ඉන්නවා, ඩීසල් පෝලිම්වල ඉන්නවා. හැබැයි 2018 මෙරටට ආපු සංචාරකයන් මිලියන 2.3 අපිට ගෙන්න ගන්න පුළුවන් නම් මේ ගැටලු විසඳෙනවා. මොකද ඒ වෙලාවේ මේ සංචාරකයන් හරහා පමණක් ලංකාවට ඩොලර් බිලියන 4.5ක් ඇවිත් තිබෙනවා. සාමාන්‍යයෙන් එක් සංචාරකයෙක් රට ඇතුළට ආවොත් ඩොලර් 2,000ක් එනවා. ඒනිසා අපි හැමෝම එකතු වෙලා, මේ මාධ්‍ය නාලිකා සියල්ලම එකතු වෙලා ජනතාව දැනුවත් කරන්න ඕනේ අපිට 2018 අපිට ලැබුණු සංචාරක ආදායම ආවොත් ඇත්තටම මේ පෝලිම්වල ඉන්න ඕනේ නෑ, බෙහෙත් ගෙන්න ගන්න පුළුවන්. මේ ඔක්කොම ටික කරගන්න පුළුවන්.”

මේ අතර අද වනවිට බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ පවතින ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වන තදබදය සම්බන්ධයෙන්ද අදහස් දක්වා සිටි අමාත්‍යවරයා, ලබන සඳුදා සිට මාතර, නුවර සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාල තුළ පාස්පෝට් නිකුත් කිරීමේ එක්දින සේවාව ආරම්භ කරන බවද පැවසීය.

“යම් කෙනෙකුට රට යන්න අවශ්‍ය ලියකියවිලි තියෙනවා නම් ඒ අයට ඉක්මණින් පාස්පෝට් එකක් ලබා ගන්න අවශ්‍ය කවුළු අපි අලුතින් විවෘත කර තිබෙනවා. ඒ වගේම අපි ලබන සඳුදා ඉදන් මාතර, නුවර සහ වව්නියාව යන කාර්යාල තුළ එක්දින සේවාව ක්‍රියාත්මක කරනවා. එතකොට මේ තදබදය එම කාර්යාල වෙත බෙදී යාවි කියලා හිතනවා. ලබන සතියේ ඉදන් කවුරුවත් වව්නියාව, නුවර සහ මාතර ඉදන් පාස්පෝට් හදාගන්න කොළඹ එන්න එපා. මේ ක්‍රම දෙක හරියට තිබුනා නම් අපිට දුක් විදින්න ඕනේ නෑ.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ධම්මික පෙරේරා මහතා, මුළු රටක් ලෙස මෙම අසීරු අවස්ථාවේදී බෙදී වී සිටීමකින් තොරව පක්ෂ විපක්ෂ බෙදීමකින් තොරව රට වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.

Visits: 101