එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් වෙතින් රුපියල් 8.19ක ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (EXPO.N0000) සිය කොටස් හිමිකරුවන්සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 8.19ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම පවසයි.

මෙය 2023 මාර්තු 31 වැනිදායින් අවසන්වීමට නියමිත 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අතරමැදි ලාභාංශ ගෙවීමක් ලෙස සමාගම මගින් සඳහන් කර සිටියි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 22 වැනිදා නම් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 01 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ (22දා) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 172.25ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 168.25ට සාපේක්ෂව රුපියල් 4.00 ක එනම් 2.38%ක ඉහළ යාමකි.

පසුගිය 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ශත 50ක් බැගින් ලාභාංශ ගෙවූ අතර 2021/22 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් 1.17ක ලාභාංශ ගෙවිමක් සිදුවිය.

Visits: 305