INSEE සිමෙන්ති සමාගම වකුගඩු රෝගීන් සඳහා වන EPO එන්නත් 10,000ක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම විසින් වර්තමානයේ මෙරට පවතින ඖෂධ හිඟයට යම් පිළියමක් ලෙස Erythropoietin (EPO) එන්නත් මාත්‍රා 10,000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

මෙරට ග්‍රාමීය ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) පෙළෙන රෝගීන්ගේ රක්තහීනතාවයට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඖෂධවල අවශ්‍යතාව පිළිබඳව දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කළ හදිසි ඉල්ලීමකට අනුව INSEE සිමෙන්ති (ශ්‍රී ලංකා) සමාගමේ මව් සමාගම වන තායිලන්තයේ සියම් සිටි පොදු සමාගම (Siam City Cement Public Limited) විසින් රුපියල් මිලියන 40 ක් වටිනා මෙම ඖෂධ තොගය පරිත්‍යාග කෙරිණි.

මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන හා වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන් සහභාගි වූ අතර, එම අවස්ථාවට තායිලන්ත තානාපති පොජ් හර්න්පොල් හා රාජකීය තායි තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් පීරපත් ටොන්ග්‍රොඩ් යන මහත්වරු සමගින්, INSEE සිමෙන්ති පාර්ශ්වය නියෝජනය කරමින් එම සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක සහ බාහිර කටයුතු සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී චන්දන නානායක්කාර යන මහත්වරු සහභාගි වූහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා, “වගකිවයුතු වගේ ම, ආදර්ශමත් ආයතනික පුරවැසියෙකු විදියට INSEE සිමෙන්ති සමාගම ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින්, නව මානයන් ඔස්සේ මේ රටේ ජනතාවට විවිධ අයුරින් සහයෝගය දක්වනවා. තායිලන්තයේ Siam Bioscience සමාගමෙන් මෙම එන්නත් තොගය මිල දී ගැනීම සඳහා තායිලන්තයේ සියම් සිටි සිමෙන්ති පොදු සමාගම (Siam City Cement Public Limited) දැක්වූ සහයෝගය අපි ඉතා අගය කොට සලකනවා. ඒ වගේ ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් මෙම ඖෂධ තොගය ලබා දීමට කටයුතු කිරිම මගින් වර්තමානයේ දී මෙ රටේ පවතින බරපතල ඖෂධ හිඟයට යම් පමණක හෝ විසඳුමක් ලබා දීමට වගේ ම, ජීවිත ගණනාවක් බේරා ගැනීමටත් හැකි වේවි කියල මම විශ්වාස කරනවා.” යනුවෙන් පැවසීය.

Visits: 42