කොකා කෝලා සහ Eco Spindles එක්ව නව Eko Plasco අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානයක් විවෘත කරයි

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ Eco Spindles Pvt. Ltd අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයේ පුරෝගාමී වෙමින් නව Eko Plasco අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය (Material Recovery Facility) 2022 ලෝක පරිසර දිනයට සමගාමීව වාද්දුවේ දී දියත් කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරිණි. කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමෙහි, කළමනාකාර අධ්‍යක්ෂ මයන්ක් අරෝරා, Eco Spindles හි ප්‍රධාන විධායක නිළධාරි, මනෝජ් උඩවත්ත සහ Eko Plasco කළමනාකාර අධ්‍යක්ෂ මලිඳු ලියනගේ යන මහත්වරුන්ද මේ සඳහා සහභාගි වී සිටියහ.

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදස් දක්වමින් ” කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ Eco Spindles වැනි පෞද්ගලික අංශයේ සංවිධාන, ශ්‍රී ලංකාවේ කසළ කළමණාකරන යටිතල පහසුකම් වෙනුවෙන්, සැළකිය යුතු දායකත්වයක් ලබා දෙනු දැකීම ඉතාමත් සතුටුයි. Eko Plasco MRF මධ්‍යස්ථානය වැනි මුල පිරීම් ශ්‍රී ලංකා රජය විසින් ඉදිරියට ගෙන යාමට නියමිත ජාතික ස්වේච්ඡා විස්තීරණ නිෂ්පාදක වගකීම් (EPR) වැඩසටහනට අනුපූරක වන බැවින් මෙය ඉතා වැදගත් වෙනවා” යනුවෙන් පැවසීය.

අපද්‍රව්‍ය කළමනාකරණයට සහය දැක්වීම සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයෙන් අපද්‍රව්‍ය වෙත අර්ථවත් නැවත භාවිතයක් ලබා දීම සඳහා වගකීමෙන් යුතුව ප්ලාස්ටික් බැහැර කිරීම පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමට මෙම MRF මධ්‍යස්ථානය හඳුන්වා දෙන ලදි.

මෙම පහසුකම මගින් සෑම මසකම ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 10,000ක් පමණ ප්‍රමාණයක් MRF මධ්‍යස්ථාන හරහා එකතු කර සැකසීමෙන් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පහසුකම ඇති Eco Spindles ආයතනය වෙත යවයි. එය ලොව කෘතිම නූල් නිෂ්පාදන පහසුකම සහ කෙඳිවලින් සෘජුවම නූල් සෑදීමේ හැකියාව ඇති කර්මාන්තශාලා දෙකෙන් එකකි. Eco Spindles විසින් මෙම අමුද්‍රව්‍ය නූල් සහ කෙඳි බවට පත් කර කොසු, බුරුසු, රෙදි වැනි ගෘහාශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය කර, රටවල් 15කට වැඩි ප්‍රමාණයකට අපනයනය කරනු ලබයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑතක දී පැළඳ සිටි නිල ඇඳුම නිර්මාණය කිරීම සඳහා මෙම නූල් විශේෂයම යොදා ගෙන ඇත.

MRF මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභ සහ ජීවනෝපාය අවස්ථා ලබා දෙමින් ජාතියේ අපද්‍රව්‍ය කළමනාකරණ දිශානතිය වෙනස් කරන්නකි. Eco Spindles වෙතින් ද්‍රව්‍ය අපනයනය කිරීම, වත්මන් සන්දර්භය තුළ ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ මුදල් ජනනය කරන බැවින් එය රටට විශාල ප්‍රතිලාභයක් ද ලබා දෙයි. Coca-Cola, Eco Spindles සහ ඔවුන්ගේ පාර්ශවකරුවන් පරිසරයට සහ ප්‍රජාවන්ට ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා Eko Plasco වැනි පහසුකම් සඳහා අඛණ්ඩව සහාය වනු ඇත.

Visits: 137