කොළඹ වරාය නගරයේ ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් වසර 40ක බදු සහනයක්

කොළඹ වරාය නගරය වෙනුවෙන් සිදු කරන ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් වරස 40ක බදු සහනයක් ප්‍රදානය කිරීමට රජය තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත්වුණු කැබිනට් මණ්ඩල හමුවේදී මේ පිළිබඳව යෝජනාව සම්මත වී තිබේ.

පෙරේදා පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මේ පිළිබඳව සඳහන් කර තිබේ. රට වෙත සිදු කරන ඍජු විදේශ ආයෝජන වර්ධනය කිරීම මෙහි අරමුණ බව ඔහු එහිදී සඳහන් කර ඇත.

“විදේශ විනිමය ඉපැයුම් රට ඇතුළට වර්ධනය කරගැනීම සඳහා වන ප්‍රධානම ව්‍යාපෘතියක් තමයි මේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය. වර්තමානයේදී පවතින ලෝක ආර්ථික අවපාතයත් සමගින්ම ආයෝජකයන් ආකර්ෂණය කරගන්නට නම්, මෙවැනි ආකාරයේ බදු සහන ලබාදීම වැදගත් වෙනවා.” යනුවෙන්

මෙම තීරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා ලොව පුරා රටවල් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනිම සඳහා තරගකාරී ලෙස මෙවැනි බදු සහන ලබා දෙමින් සිටින බවත් පවසා සිටියේය. එහිදී උදාහරණ ලෙස ඕමානය මේවනවිට සිය වරාය ආශ්‍රිතව පවතින බිම් විවිධ රටවල ආයෝජකයන්ට පැමිණ ව්‍යාපෘති සඳහා ආයෝජනයට අවස්ථාව ලබා දෙමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර වර්තමානයේදී දේශීය ව්‍යවසායකයන් පවා ශ්‍රී ලංකාව අතහැර බංග්ලාදේශය, ඉතියෝපියාව සහ කෙන්යාව වැනි රටවල් මගින් ලබා දෙන ආයෝජන සහන සහ අවස්ථාවන් වෙත යොමුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 121