INSEE Cement කඩොලාන වගා ව්‍යාපෘතියේ දෙවැනි අදියර ජූනි මාසයේදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ එකම පූර්ණ ලෙස ඒකාබද්ධ වූ සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE Cement ක්‍රියාවට නංවන කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පළමු අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.

මේ යටතේ අරුවක්කාලු ප්‍රදේශයේ සේරක්කුලිය කලපුවේ හෙක්ටයාර දෙකක ප්‍රදේශයක් ආවරණය කරන ලදි. ප්‍රථම අදියර තුළ අත්කරගත් සාර්ථකත්වය හේතුවෙන්, එහි දෙවැනි අදියර ජූනි මාසයේදී ගාල්ල ප්‍රදේශයේ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති අතර, මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් හෙක්ටයාරයක ප්‍රදේශයක කඩොලාන ප්‍රතිසංස්කරණය සිදුකෙරෙනු ඇත.

භූමියට හා ජලාශ වලට අහිතකර බලපෑමක් නොවන ආකාරයට තම කර්මාන්තශාලා පවත්වාගෙන යාමට INSEE Cement සමාගම දරන උත්සාහය නිසා, ජෛව විවිධත්වය හා ජලය ආරක්ෂා කිරීම සමාගමේ 2030 තිරසාරත්ව අභිලාෂයේ ප්‍රධානතම අංගයක් බවට පත්වී තිබේ.

මෙය සමාගමේ ක්‍රියාකාරීත්වය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සහ ‘Science Based Targets initiative’ (SBTi) ඇතුළු සමාජ, ආර්ථික හා පාරිසරික තිරසාරත්ව වැඩසටහන් සමග සමපාත කරවන, සමස්ත සමූහ ව්‍යාපාරයම ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවෙන, පරිපූර්ණ හා දීර්ඝකාලීන ක්‍රමෝපායකි. දේශීය නියාමනයන්ට අනුකූලව හුණු ගල් කැඩීම සිදුකරමින්, ඒ ඔස්සේ පරිසරයට සිදුවන බලපෑම අවම කරමින්, පාරිසරික ප්‍රතිසංස්කරණ වැඩසටහන් ඔස්සේ ‘Net Positive Impact (NPI)’ මට්ටම ළඟා කරගැනීම මෙම ක්‍රමෝපායෙහි මූලික අරමුණ වී තිබේ.

කඩොලාන යනු සාගරය සහ ගොඩබිම මුණගැසෙන ස්ථාන වල ජීවීන්ට වාසස්ථාන සලසන සුවිශේෂී පරිසර පද්ධති එකතුවකි. ඒවා වාණිජ මත්ස්‍ය වර්ග සහ කොරල් පර මත්ස්‍ය වර්ග ඇතුළුව ජලජ හා ගොඩබිම් ජීවීන් වර්ග රාශියකට ආහාර හා අභිජනන ස්ථාන බවට පත්වී ඇත.
එමෙන්ම කඩොලාන ශාක සාමාන්‍ය ශාක වලට වඩා හතර ගුණයක් වැඩියෙන් වාතයෙන් කාබන් වෙන් කරන අතර, ගෝලීය සාගර සඳහා අත්‍යවශ්‍ය ඓන්ද්‍රීය කාබන් වලින් 10% කට වඩා සපයයි. ශ්‍රී ලංකාවේ කඩොලාන ආවරණය හෙක්ටයාර 15,000 කට වැඩි ලෙස සැලකෙන නමුත්, 1980 සහ 2005 අතර කාලය තුළ මෙරට කඩොලාන ආවරණයෙන් 25% කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ගොස් තිබේ. කෘෂිකාර්මික කටයුතු වල ව්‍යාප්තිය නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් කඩොලාන හෙක්ටයාර 3,000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත.

පසුගිය දශකයක කාලය තුළ INSEE Cement සමාගම පුත්තලම හා ගාල්ල යන ප්‍රදේශ වල පිහිටි තම කර්මාන්තශාලා ආසන්නයේ වෙරළබඩ ප්‍රදේශ වල කඩොලාන නැවත වගා කිරීමේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නංවා තිබේ. මේ වනවිට මෙම ව්‍යාපෘති යටතේ හෙක්ටයාර 01 ක ප්‍රදේශයක් ආවරණය කර ඇති අතර, 2023 වසර වන විට හෙක්ටයාර 66 ක් පුරා කඩොලාන නැවත වගාකිරීමට සමාගම බලාපොරොත්තු වෙයි. මෙම ඉලක්කයට කොග්ගල ඔයද ඇතුළත් වී ඇත. ජෛව විවිධත්වයෙන් අනූන දූපත් 21 කින් සහ හෙක්ටයාර 5,500 ක භූමි ප්‍රදේශයකින් යුත් කොග්ගල ඔයේ කඩොලාන පරිසර පද්ධති තුළ සංක්‍රමණික, ආවේණික හා දේශීය පක්ෂීන් වර්ග රාශියක් හමු වේ.

“අතීතයේ පටන්ම INSEE Cement සමාගම ජෛව විවිධත්වය කළමනාකරණය කිරීමට හා ආරක්ෂා කිරීමට විශාල පරිශ්‍රමයක් දරමින් සිටිනවා. අපගේ 2030 තිරසාර අභිලාශය ඔස්සේ, අපගේ කර්මාන්තශාලා පිහිටි ප්‍රදේශ වල ජනතාවගේ ජීවනෝපායන් මෙන්ම සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන මෙම පරිසර පද්ධති වෙනුවෙන් ක්‍රමෝපායිකව වැඩසටහන් සැලසුම් කරමින් සහ ආයෝජනය කරමින් ඒවා ආරක්ෂා කරගැනීම අපගේ ඉලක්කයයි. මේ දක්වා අප ක්‍රියාත්මක කළ වැඩසටහන් සියල්ලම කැපීපෙනෙන සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබීම අපට මහත් සතුටක්. වඩාත් හරිත හා තිරසාර අනාගතයක් වෙනුවෙන් ඉදිරියටත් අපගේ විනාශ වී ගිය පරිසර පද්ධති හඳුනා ගැනීමටත්, නිරීක්ෂණය කිරීමටත්, ඒවා නැවත ප්‍රකෘතිමත් කිරීමටත් දිගින් දිගටම කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” INSEE Cement සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා පැවසී ය.

Visits: 48