කොළඹ වරාය දකුණු ආසියාවෙන්ම පළමු තැනට – ලෝකයෙන්ම 22 වැනි තැනට

කොළඹ වරාය ලෝකයේ වරාය 370ක් අතරින් 22 වැනි ස්ථානයට සහ දකුණු ආසියාවේ වරාය අතරින් පළමු තැනට පත්ව ඇතැයි වාර්තා වෙයි. එසේම ඉන්දියානු සාගර වළල්ලේ වරායන් අතරින් තෙවැනි ස්ථානයටත් එය පත්ව තිබේ.

ලෝක බැංකුව සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනයේ මාර්කට් ඉන්ටෙලිජන්ස් ඇන්ඩ් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනය එක්ව සකස් කළ Global Container Port Performance Index (CPPI) දර්ශකයේ වර්ගීකරණයක මේ බව සඳහන්ව ඇත.

2021 වසරේදී එතෙක් මෙතෙක් වැඩිම බහාලුම් හැසිරිම් ප්‍රමාණය වාර්තා කරමින්, කොළඹ වරායේ පර්යන්තයන් මගින් අඩි 20ක් දිග බහාලුම් මිලියන 7.25ක් හසුරුවා තිබේ. එසේම මේ වසරේ මැයි මාසය වනවිට එය පෙර වසරේ මුල් මාස පහට සාපේක්ෂව 2%ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයිද සඳහන් වෙයි.

කොළඹ වරාය හිමි කරගත් මෙම වර්ගීකරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා, මෙම වර්ගීකරණය හිමි වීම කොළඹ වරාය දකුණු ආසියාව තුළ ප්‍රධානතම නැව්හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස වන ස්ථානය තහවුරු වන අවස්ථාවක් බවද පවසා තිබේ.

කොළඹ වරාය නගරය සතුව පර්යන්ත හතරක් පවතින අතර, ඉන් ජයා බහාලුම් පර්යන්තය (JCT) සහ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ශ්‍රී ලංකා වරාය යටතේ ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) සහ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් (SAGT) යන පර්යන්ත දෙකක් ඊට අයත්ය.

මෙහිදී කොළඹ වරාය හිමිකරගත් වර්ගීකරණය සඳහා එම පර්යන්ත දෙකම ලබාදුන් දායකත්වයත් ඉවහල් වූ බවත් සභාපතිවරයා මෙහිදී පවසා සිටියි.

“ලංකාවේ වරාය වර්ධනය සඳහා නියාමකයා සහ පහසුකම් සපයන්නා ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ වරාය තුළ තවදුරටත් සංවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබා දෙනවා. එහිදී දැනටමත් ගැඹුරු සාගර පර්යන්තයන් දෙකක් ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා. ඒ අතරින් වරාය අධිකාරිය මගින් නැගෙනහිර බහාලුම් පර්යන්තයත්,  අදානි පෝර්ට් සමාගම සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හා එක්ව සිදුකරන බටහිර බහාලුම් පර්යන්තයත් ඊට ඇතුළත්. මෙම සංවර්ධන කටයුතුත් සමගින් ඉදිරි වසර 2ත් 5ත් අතර කාලයේදී කොළඹ වරායේ බහාලුම් හුසිරවීමේ හැකියාව තවත් මිලියන 7කින් ඉහළ යනවා.” යනුවෙන්ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 155