විදේශ ආයෝජකයෙකු රු.මි. 279කට රම්බොඩ් ෆෝල්ස් හෝටලයේ 52%ක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රම්බොඩ ෆෝල්ස් පීඑල්සී (RFL.N0000) හෝටල් සමාගමෙහි 52%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීමට මැලේසියාවේ ආයෝජකයෙකු වන රේ යේඔහ් කිම් ලෙන්ග් (Ray Yeoh Kim Leng) කටයුතු කර ඇතැයි එම සමාගම පවසයි.

අද දිනයේදී මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙහිදී එම සමාගමේ විධායක අධ්‍යක්ෂවරුන් දෙදෙනකු වන ලියනගේ සසංක සිගේරා සහ ජගත් ආනන්ද කරුණාරත්න යන මහත්වරුන් සතුව තිබූ කොටස් ප්‍රමාණයක් මෙලෙස අලෙවි කර තිබේ.

ඒ අනුව සිගේරා මහතා සතුව තිබූ සමාගමෙහි කොටස් 5,200,000ක් සහ කරුණාරත්න මහතා සතුව තිබූ කොටස් 5,200,000ක් මෙලෙස අලෙවි කෙරී ඇත. මෙම කොටස් හිමිකාරීත්වයන් දෙකම සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් 26%ක් බැගින් වූ ප්‍රතිශත වටිනාකමක් ගන්නා බවත් සඳහන් වෙයි. ඒ අනුව අලෙවි කෙරුණු සමස්ත කොටස් ප්‍රමාණය 10,406,000ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 52%කි.

කොටසක් රුපියල් 26.80ක් බැගින් අලෙවි වීම සිදු කර ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් 278,720,000ක් (රුපියල් මිලියන 278.7ක්) ලෙස ගණන් බලා තිබේ.

2021 මාර්තු 31 වැනිදා අවසන් වනවිට රම්බොඩ ෆෝල්ස් පීඑල්සීහි කොටස් අතරින් 71.512%ක ප්‍රතිශතයක් එහි අධ්‍යක්ෂවරුන් සතුව පැවතුණි. මහජන කොටස් හිමිකාරීත්වය 28.488%ක් විය.

මෙම කොටස් හිමිකාරීත්වය යටතේ එහි අධ්‍යක්ෂවරුන් වන සිගේරා සහ කරුණාරත්න යන මහත්වරුන් සතුව එක සමානව කොටස් 7,080,700ක් බැගින් එනම් 35.4%ක ප්‍රතිශතයක් බැගින් තිබූ බව සඳහන් වෙයි. ඒ අනුව දෙපළ විසින් තනි තනිව අලෙවි කර ඇත්තේ මේ අතරින් 26%ක් බැගින් වූ ප්‍රතිශතයන්ය.

මෙහිදී මෙම අලෙවි කිරිම සහ අත්පත් කරගැනීම සඳහා වන කටයුත්ත වෙනුවෙන් උපදේශකයන් ලෙස කටයුතු කර ඇත්තේ ඇසෙට්ලයින් සෙකියුරිටීස් (පෞද්) සමාගමයි.

වසර දෙකක පමණ කාලයක් එම සමාගම සිය මෙහෙයුම් අත්හිටුවා තිබී පසුගිය සතියේදී යළිත් කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සිදුකළ පළමු ගනුදෙනුව මෙය ලෙසත් සැලකෙයි. වර්තමානයේදී ඇසෙට්ලයින් සෙකියුරිටීස් (පෞද්) සමාගම අල්මාස් සමූහය යටතේ ක්‍රියාත්මක වෙයි.

Visits: 279