ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපායමාර්ගික පන්දුයැවීමේ පුහුණුකාර ධුරයට

ශ්‍රී ලංකාවේ එක්දින සහ T20 කණ්ඩායම් හිටපු නායකයෙකු මෙන්ම දක්ෂ වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග එළැඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයේදී, සුදු පන්දුවේ තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උපායමාර්ගික පන්දුයැවීමේ පුහුණුකාර ධුරයට පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව මෙම සංචාරයේදී ලසිත් මාලිංග ක්‍රමෝපායික උපදෙස් සහ තාක්ෂණික විශේෂඥතා දැනුම ලබා දෙමින් ශ්‍රී ලාංකික පන්දු යවන්නන් වෙත පිටිය මතදී සහයෝගය ලබාදෙනු ඇතැයි සඳහන් වෙයි.

විශේෂයෙන්ම එක්දින තරගවල අවසන් පන්දුවාර කිහිපය යැවීම සම්බන්ධයෙන් මාලිංග සතු අත්දැකීම් සහ T20 මාදිලියේ තරග සම්බන්ධයෙන් ඔහු සතු විශේෂඥතාව යනාදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතාමත් හොඳ විශ්වාසයෙන් පසුවන බවත් පවසයි.

ඒ අනුව මෙම අතිශය වැදගත් තරගවාරයේදී මාලිංග සිය උපරිම සහයෝගය කණ්ඩායම වෙත ලබා දෙනු ඇතැයි සඳහන් වෙයි.

මීට පෙරද මේ වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය අතරවාරයේදීද ලසිත් මාලිංග සුදු පන්දුවේ තරග සඳහා මෙලෙසින්ම උපායමාර්ගික පන්දුයැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

Visits: 2639