අපහාස නඩුවෙන් ජොනී ඩෙප් ජයගනී – ඩොලර් මිලියන 15ක අලාභයක් හිමිවෙයි

හොලිවුඩයේ සුප්‍රසිද්ධ නළු ජොනී ඩෙප් සිය හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ්ට එරෙහිව ගොනු කර තිබූ අපහාස නඩුවෙන් ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව අධිකරණය විසින් ඔහු වෙත ඩොලර් මිලියන 15ක අලාභයක් ගෙවන ලෙස නියෝග කර තිබේ. එසේම ඊට ප්‍රතිවිරෝධීව කරුණු ඉදිරිපත් කළ ඇම්බර් හර්ඩ් හටද ඩොලර් මිලියන 2ක මුදලක් ප්‍රදානය කිරීමටද අධිකරණය තීන්දු කර තිබේ.

58 හැවිරිදි ජොනී ඩෙප්, සිය හිටපු බිරිඳ තමා අතින් ගෘහස්ත හිංසනයට ලක් වූ බවට පවසමින් එල්ල කළ චෝදනාවලට එරෙහිව ඩොලර් මිලියන 50ක වන්දි ඉල්ලා නඩුවක් ගොනු කළේය. එහිදී ඔහුගේ චෝදනාවලට එරෙහිව ප්‍රතිවිරෝධයක් මතු කළ 36 හැවිරිදි ඇම්බර් හර්ඩ් ඩෙප්ට එරෙහිව ඩොලර් මිලියන 100ක වන්දියක් ඉල්ලා සිටියාය.

දින කිහිපයක්ම පුරා අධිකරණය තුළ ක්‍රියාත්මක වූ මෙම නඩු විභාගය ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමු වූ අවස්ථාවක්ද විය. විශේෂයෙන්ම ජොනී ඩෙප් සුප්‍රසිද්ධ පයිරේට්ස් ඔෆ් ද කැරීබියන් සිනමාපටයේ ජනප්‍රිය චරිතයක්වීම නිසාම බොහෝ දෙනෙකු ඔහු වටා රොක්වන්නට විය.

අධිකරණයේදී අදහස් දක්වා සිටි ජොනී ඩෙප් තමා කිසිදු අවස්ථාවකදී හර්ඩ් හට හෝ වෙනත් කිසිම කාන්තාවකට හෝ පහර දී නොමැති බව ප්‍රකාශ කළේය. දෙදෙනා අතර පැවැති සබඳතාවයේදී වඩාත් ප්‍රකෝපකාරී ලෙස හැසිරුණේ හර්ඩ් බව ඔහු පවසා සිටියේය.

මෙම අධිකරණ තීන්දුව ලබාදුන් අවස්ථාවේදී ජොනී ඩෙප් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි අතර,ඇම්බර් හර්ඩ් අධිකරණය වෙත පැමිණ සිටියාය. කෙසේ වෙතත් මෙම තීන්දුව ලබාදීමත් සමගින්ම ජොනී ඩෙප් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්, සත්‍ය වෙනුවෙන් සිය නීතීඥ කණ්ඩායම මෙහිදී ඉතා හොඳ රාජකාරියක් සිදුකළ බව පවසා තිබේ.

එසේම හොඳම දේ තවමත් පැමිණ නොමැති බවත්, අවසානයේදී නව පරිච්ඡේදයක් ආරම්භ වී ඇති බවත් පවසා තිබේ.

ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් එකිනෙකා හමුවූයේ 2011 වසරේදී සිදු කෙරුණු The Rum Diary සිනමාපටයේ රූගත කිරීම් අවස්ථාවේදීය. පසුව 2015 දී ඔවුන් විවාහ විය. එහෙත් වසර දෙකකට පසුව ඔවුන් දික්කසාද විය.

Visits: 179