බොරතෙල් බැරලයක මිල ඩොලර් 123ක් ඉක්මවයි

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල අද පෙරවරුව වන විට එක්සත් ජනපද ඩොලර් 123ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. ඊයේ රාත්‍රියේදී එය ඩොලර් 120ක් ලෙස සටහන්ව තිබුණි.

ඒ අනුව මෙරට වේලාවෙන් අද පෙරවරු 10.00 වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 123.1ක් ලෙස සටහන්ව තිබූ අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 118.4ක් ලෙස බවට පත්ව තිබුණි.

මෙය මාස දෙකකට පමණ පසුව බොරතෙල් බැරලයක් සඳහා වාර්තා කළ ඉහළම අගයද වෙයි.

යුරෝපා සංගමය මගින් රුසියානු බොරතෙල් නිෂ්පාදන මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කිරිමට තීරණය කිරීම මෙලෙස ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාමට හේතුව වී තිබේ. රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව යුරෝපා සංගමය මෙම තීරණය ගෙන ඇත.

මෙම තත්ත්වයත් සමගින්ම ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඩොලර් 123ත් 125ත් අතර අගයකට පත් වෙනු ඇතැයි සඳහන් වෙයි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භවූ පෙබරවාරි 24 වැනිදා ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 130 ඉක්මවීය.

Visits: 43