CL Synergy සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව ඉවත් කර ගැනේ

මෙරට මුල් පෙළේ භාණ්ඩ ප්‍රවාහන සමාගමක් වන CL Synergy Limited සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි විවෘත කිරීමට සැලසුම් කර තිබූ මූලික මහජන කොටස් නිකුතුව (IPO) ඉවත් කරගත් බව ප්‍රකාශ කර සිටියි.

අද (30දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සඳහන් කර තිබේ.

වර්තමානයේදී රටෙහි පවතින හිතකර නොවූ ආර්ථික, දේශපාලනික, සාමාජීය සහ මූල්‍යමය තත්ත්වය මේ සඳහා හේතුව වූ බවත්, CL Synergy Limited සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් තීන්දුවකට අනුව මෙලෙස එම මූලික මහජන කොටස් නිකුතුව ඉවත් කරගැනීමට තීරණය කළ බවත් සමාගම පවසයි.

CL Synergy  සමාගමේ මෙම මූලික මහජන කොටස් නිකුතුව විවෘත කිරිම පසුගිය අප්‍රේල් 07 වැනිදා සිදු කිරිමට නියමිතව තිබුණත්, පැවැති අයහපත් වාතාවරණය හේතුවෙන් එය නැවත දැනුම් දෙන තුරු කල් දැමිමට තීරණය කෙරිණි.

සැලසුම් කර තිබූ මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී දායකත්වය සඳහා නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 63 ක්ද, අලෙවිය සඳහා දැනට පවතින සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 28.5 ක්ද නිකුත් කිරීමට සමාගමේ අපේක්ෂාව විය.

CL Synergy සමාගම සඳහන් කරන ආකාරයට මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී නිකුත් කිරීමට නියමිතව තිබූ මුළු කොටස් සංඛ්‍යාව 91,500,000 කි. මෙම සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් රු. 14.00 බැගින් මිල කෙරිණි. ඒ අනුව ඉන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1.28ක් (1,281,000,000ක්) ලෙස ගණන් බලා තිබුණි.

එසේම මෙම මූලික මහජන කොටස් නිකුතුවේ කළමනාකරුවන් ලෙස Acuity Partners (පුද්.) සමාගම ක්‍රියා කෙරිණි.

CL Synergy සමාගම පවසන ආකාරයට ඔවුන්ගේ ආදායමෙන් 65% ක්ම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලින් ලැබෙන අතර ආදායමෙන් 70% ක් ලැබෙනුයේ අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සේවාදායකයන්ගෙන් බවත් සඳහන් වෙයි.

මේ අතර අද දිනයේදී සමාගම මගින් නිකුත් කෙරුණු ලියවිල්ලේ සඳහන් ආකාරයට වර්තමානයේදී සිදුව තිබෙන විදේශ විනිමය වටිනාකම්හි ඉහළ යාම් හේතුවෙන්, සමාගමේ ඉපැයීම් පුරෝකතනය කළ මට්ටම ඉක්මවා යෑමක් සනිටුහන් කර ඇති බවත්, ඒ හේතුවෙන් සමාගමේ මුදල් ප්‍රවාහ ධනාත්මක මට්ටමකට පත්ව ශේෂපත්‍රය තවදුරටත් ශක්තිමත් වී ඇතැයිද සමාගම පවසා සිටියි.

මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා අරමුදල් මගින් CL Synergy සමාගමේ කාරක ප්‍රාග්ධනය වැඩිදියුණු කරගැනීම සඳහා රු. මිලියන 320 ක්ද, ගෙවිය යුතු දීර්ඝකාලීන ණය ප්‍රමාණය අවම කරගැනීම සඳහා රු. මිලියන 212 ක්ද, ගැනුම්කරු හා සපයාගැනීම් වෙළඳපොළවල කලාපීය ව්‍යාප්තිය පුළුල් කරගැනීම සඳහා රු. මිලියන 200 ක්ද, ගාස්තු හා වෙන්කරවාගැනීම් පදනම වැනි මූලික ඩිජිටල් පද්ධති වැඩිදියුණු කරගැනීම සඳහා රු. මිලියන 150 ක්ද ආයෝජනය කිරීමට අප බලාපොරොත්තු වන බව CL Synergy සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් සිල්වා මහතා සඳහන් කර තිබුණි.

ඒ අනුව අනාගතයේ දිනෙකදී යම් සුබදායී අවස්ථාවක් උදා වුවහොත් යළිත් වරක් සිය සමාගම ලැයිස්තුතවීම සඳහා වන ඉල්ලුම්පත්‍රයක් කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කරන බවත් CL Synergy සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 221