ජෙට් ඉන්ධන මෙට්‍රික්ටොන් 30,000ක ඇනවුම IOC වෙත – ඩො.මිලියන 50ක් ගෙවිම අද

ශ්‍රී ලංකාව සඳහා ලබන ජූනි මාසයේදී අවශ්‍ය කෙරෙන ඉන්ධන අතරින් ජෙට් ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් ලබා ගැනීමේ ඇනවුම ඉන්දියානු ඔයිල් සමාගම වෙත පිරිනමා ඇතැයි රජය පවසයි.

බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද පෙරවරුවේදී ප්‍රසිද්ධියට පත් කරන ලද ජූනි මාසය සඳහා වන ඉන්ධන ඇනවුම් කිරීමේ කාලසටහනෙහි මේ පිලිබඳව සඳහන්ව තිබේ.

ඒ අනුව මෙහිදී ආනයනය කෙරෙන ජෙට් ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ලබන ජූනි 11ත් 12ත් අතර කාලයේදී මෙරටට ලැබීමට නියමිතව තිබේ.

මෙම තොගය තුළ ඉන්ධන බැරල් 240,000ක් පවතින අතර ඒ සඳහා වන වියදම එක්සත් ජනපද ඩොලර් 49,420,272ක් ලෙස ගණන් බලා තිබේ.

ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගම වෙත පිරිනමා ඇති මෙම ඇනවුම සඳහා වන මුදල් ගෙවීම අද දිනයේදී (මැයි 30) දා සිදු කිරිමට නියමිතව ඇතැයිද වැඩිදුරටත් සඳහන් වෙයි.

එම මුදල දැනට හිමිව ඇති ඉන්දියානු ණය සහනය යටතේ ලබාදීමක් සිදු කර නොමැති බවත් මෙම සටහනේ දැක්වෙයි.

එසේම තවත් ජෙට් ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක ප්‍රමාණයක් ලබන ජූනි 28-29 දෙදින තුළදී ඇනවුම් කර ඇති අතර, ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති වියදම ඩොලර් 43,665,000කි.

කෙසේ වෙතත් මේ සඳහා වන ටෙන්ඩරය ලබාදීම මෙතෙක් තීරණය කර නොමැති අතර, ඊට අදාළ අවසන් දිනය හෙට (මැයි 31) දිනයට යෙදී තිබේ.

Visits: 126