Microsoft Imagine Cup 2022 වෙත ගිය SLIIT කණ්ඩායම ඉතිහාසයට එක් වෙයි

2022 Microsoft Imagine Cup ලෝක ශූරතා තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ආසියාව නියෝජනය කරමින් තෝරා ගනු ලැබූ පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ලෙස SLIIT හි ‘නැණ ශිල්ප’ කණ්ඩායම ඉතිහාසගත සන්ධිස්ථානයක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.

ආසියානු කලාපයේ ජයග්‍රාහකයා වන ‘නැණ ශිල්ප’ කණ්ඩායම, 2022 Imagine Cup ලෝක ශූරතා තරඟාවලියේදී සුදුසුකම් ලැබ සිටින AMERICAS සහ EMEA කලාපවල කණ්ඩායම්වලට එරෙහිව තරඟ කිරීමට නියමිතය.

2022 වසරේ පසුගිය මාර්තු මස 30 වන දින පැවති Imagine Cup 2022 ලෝක ශූරතා තරඟාවලියේ අවසන් මහා තරඟයයේදී SLIIT පරිගණක පීඨයේ ‘නැණ ශිල්ප’ කණ්ඩායම ආසියාවේ එකම ජයග්‍රාහකයා ලෙසින් කිරුළු හිමිකර ගනු ලැබිණි. එම කණ්ඩායමේ සාමාජිකයින් වන්නේ චමිල් දිලුක්ෂ, කල්පනී අබේසිංහ, පමෝද්‍යා මහේෂානි සහ ප්‍රභාත් ශාලිත යන සිසු පිරිසය.

නැණ ශිල්ප කණ්ඩායමෙහි අධීක්‍ෂණය මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ හා සම අධීක්ෂණය ජෙනී ක්‍රිෂාරා මෙනවිය විසින් ද, වෛද්‍ය ඩබ්ලිව්.එම්.කේ. වනිගසිංහ මහත්මිය විසින් බාහිර අධීක්ෂණ කටයුතු කරනු ලැබීය. රටවල් 160කට අධික සංඛ්‍යාවක සිසුන් දස දහස් ගණනකට එරෙහිව ‘නැණ ශිල්ප’ කණ්ඩායම තරඟ කර මේ ජයග්‍රහණය ලබා ගෙන ඇත.

SLIIT හි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නිමල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”2022 මැයි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සියැට්ලි හි පැවැත්වෙන Imagine Cup ලෝක ශූරතා තරඟාවලියේ හි අවසන් වටය සඳහා තේරී පත්වුණු 2022 වසරේ SLIIT පරිගණක උපාධිධාරීන්ගේ කණ්ඩායමට සුබපැතුම් එක් කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. මෙම ජයග්‍රහණය තුළින් අපගේ උපාධිධාරීන්, උපාධි පාඨමාලා, ඉගෙනුම් පරිසරය සහ ගුරු මණ්ඩලයේ උසස් තත්ත්වය පෙන්නුම් කර තිබෙනවා. අපව දිරිගන්වනු ලබන ඉහළ මට්ටමේ දක්ෂතා සමඟ එක්ව මෙම සාර්ථකත්වයන් තුළින් කර්මාන්තයට සේවය කිරීමට සහ ශ්‍රී ලංකාව සඳහා ධනය උත්පාදනය කිරීමට විශිෂ්ඨත්වයෙන් යුත් ඉදිරි පියවරක් කරා ළඟා විය හැකි බව මට විශ්වාසයි.”

සෞඛ්‍ය කාණ්ඩය යටතේ ජයග්‍රහණය කරනු ලැබූ ‘නැණ ශිල්ප’ ව්‍යාපෘතිය, ප්‍රාථමික පාසල් සිසුන්ගේ dyscalculia සහ dysgraphia නමැති ඉගෙනීමේ අපහසුතාවයන් පරීක්ෂා කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා මූලිකව සිංහල භාෂාව භාවිතයෙන් නිර්මාණය කරන ලද පළමු ජංගම යෙදුම එළිදක්වන ලදී. මෙම යෙදුම ගෝලීය වශයෙන් ද එවැනි අබාධවලින් බලපෑමට ලක් වූ ළමුන් සඳහා භාවිතා කිරීමට හැකිවන අතර සාධනීය අයුරින් කල්පවත්නා බලපෑමක් ඇති කිරීමට එම යෙදුමට ඇති හැකියාව ඉහළ මට්ටමක තිබීම විශේෂත්වයකි.

Imagine Cup යනු ඇමරිකා එක්සත් ජනපදයේ Microsoft Corporation විසින් සත්කාරකත්වය ඇතිව වාර්ෂිකව පවත්වනු ලබන තරඟය වන අතර එය ලොව පුරා සිටින ශිෂ්‍ය මෘදුකාංග සංවර්ධකයින් එක්රැස් කර ගනිමින් ලොව දුෂ්කරම අභියෝගයන් කිහිපයක් සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා සහය ලබා දෙනු ලබයි.

එය පරිගණක විද්‍යාව විසින් ‘Olympics of Technology’ ලෙස සලකනු ලබන අතර තාක්‍ෂණය සහ මෘදුකාංග නිර්මාණය සම්බන්ධ ඉහළම තලයේ තරඟ සහ සම්මාන වලින් එකක් ලෙස ද සැලකේ. සියලුම Imagine Cup තරඟකරුවන් Imagine Cupහි ‘දුෂ්කරම ගැටලු විසඳීමට තාක්ෂණය උපකාර වන ලෝකයක් ගැන සිතන්න’ යන තේමාව යටතේ සිය ව්‍යාපෘති නිර්මාණය කරනු ලබයි.

ගෝලීය තරඟාවලියේ 20 වැනි සංවත්සරය සමරමින් මේ වසරේ සංස්කරණය පෘථිවිය, අධ්‍යාපනය, සෞඛ්‍යය, හා ජීවන රටාව යන කාණ්ඩ හතරෙන් එකක් යටතේ ‘ඉතාමත් අභියෝගාත්මක ගැටලු විසඳීමට තාක්‍ෂණය උපකාර වන ලෝකයක් ගැන සිතන්න’ යන තේමාවට අදාළ ව්‍යාපෘතියක් නිර්මාණය කිරීමට තරඟකරුවන් හට පැවරී තිබේ.

‘නැණ ශිල්ප’ ලෝක ශූරතාවලියේ අවසන් තිදෙනා හට ඇමරිකානු ඩොලර් 100,000 ක මහා ත්‍යාගය දිනා ගැනීමේ අවස්ථාව සහ Microsoft සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා සමඟ උපදේශන සැසියකට සම්බන්ධ වී එහි අත්දැකීම් විඳ ගැනීමට අවස්ථාව ලැබී ඇත.

ලෝක ශූරතාවලියේ ස්ථානයක් සඳහා තරඟ කිරීමේදී නැණ ශිල්ප ඇතුළු SLIIT කණ්ඩායම් කිහිපයක් මුලින් ම Imagine Cup 2022 කලාපීය අග්නිදිග ආසියානු (SEA) අවසන් මහා තරගයට ඉදිරිපත් විය.

SLIIT පරිගණක පීඨයේ උපාධි අපේක්ෂක ව්‍යාපෘති කණ්ඩායම් පහක් එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන තුන හිමි කර ගනු ලැබිණි. ගෝලීය වශයෙන් පැවති කලාපීය තරඟ වලින් කණ්ඩායම් 48 ක් ලෝක මහා අවසන් තරඟ සඳහා තෝරා ගන්නා ලදී. ආචාර්ය ශ්‍යාම් රෙයාල්, සමන්ති සිරිවර්ධන මෙනවිය සහ අර්චනා කුගතාසන් යන මහත්ම මහත්මීන් විසින් අධීක්ෂණය කරන ලද ‘Alpha Squad’ (පෘථිවිය) සහ ‘The Alter’ (අධ්‍යාපන) යන කාණ්ඩ යටතේ SLIIT කණ්ඩායම් Imagine Cup 2022 තරඟය අග්නිදිග ආසියාව වෙනුවෙන් ජයග්‍රහණය කරන ලදී.

ආචාර්ය ජනක විජේකෝන් සහ ඩිලානි ලුණුගලගේ මෙනවියගේ අධීක්‍ෂණයෙන් යුත් SnakePal ව්‍යාපෘතිය සහ ආචාර්ය අනුරාධා කරුණාසේන සහ නදීසා ප්‍රේමදාස මෙනවියගේ අධීක්‍ෂණයෙන් යුත් ‘DHExtreme’ ව්‍යාපෘතිය ද අග්නිදිග ආසියානු අවසන් මහා තරඟයට තේරී පත් විය.

Visits: 263