සපුගස්කන්ද පිරිපහදුව තවත් දින හයකින් මෙහෙයුම් ඇරඹීමට යයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තවත් දින හයක කාලයකින් යළිත් සිය සුපුරුදු මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණු‍මේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ. අද දිනයේදී ගොඩබෑමට නියමිතව ඇති බොරතෙල් නෞකාවෙන් ලැබෙන බොරතෙල් යොදා ගනිමින් මෙලෙස සපුගස්කන්ද පිරිපහදුව යළිත් ක්‍රියාත්මක කරවීම අරමුණ වී තිබේ.

“හෙට දිනයේදී බොරතෙල් නෞකාවක් ගොඩබෑමට නියමිතව තිබෙනවා.ඒ අනුව දින හයකින් මේ පිරිපහදුවේ ඉන්ධන නිපදවීමේ කටයුතු ආරම්භ වේවි.” අමාත්‍යවරයා පවසා ඇත.

බොරතෙල් සැපයුමේ ඇති වූ බාධා නිසා පසුගිය මාර්තු 20 වැනිදා සිට සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිව වසා දැමීම සිදුවිය. රටෙහි පැවැති ඩොලර් අර්බුදය මේ සඳහා මූලික හේතුව විය.

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇති ආකාරයට ඊයේ රාත්‍රිය වන විට මෙරට තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 23,022ක්, සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 2,588ක්, 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන්  39,968ක්, 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7,112ක් සහ ජෙට් ඉන්ධන මෙට්‍රික් ටොන් 3,578ක් ලෙස ඉන්ධන තොග පවතින බවත් පැවසෙයි.

Visits: 73