ඇන්තනි නිහාල් ෆොන්සේකා යළිත් මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයට

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ඇන්තනි නිහාල් ෆොන්සේකා මහතා පත් කිරිමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ෆොන්සේකා මහතා මීට පෙර 2016 ජුලි මාසයේදීද මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් විය. එහෙත් 2020 වසරේදී නව රජය බලයට පත්වීමෙන් අනතුරුව ෆොන්සේකා මහතා එම ධුරයෙන් ඉවත් විය. එසේම තවත් සාමාජිකාවක වූ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මියද එම අවස්ථාවේදී සිය ධුරයෙන් ඉවත් විය.

ෆොන්සේකා මහතා කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් සිය විද්‍යාවේදී උපාධිය ලබා ගෙන ඇති අතර, ඔහු බ්‍රිතාන්‍යයේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයෙහි සහ බ්‍රිතාන්‍ය වරලත් සුරැකුම්පත් හා ආයෝජන ආයතනයේ සාමාජිකයකු ද වෙයි.

වෘත්තීය බැංකුකරුවකු වන ෆොන්සේකා මහතා දේශීය මෙන්ම විදේශීය බංකු ක්ෂේත්‍රෙය් ද ඉහළ තනතුරු හොබවා ඇත.  වසර 13 කට අධිකකාලයක් ඩී.එෆ්.සී.සී. බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර ද ඊට පෙර ඒ.එස්.බී.සී. ශ්‍රී ලංකා හි වසර 10 ක කාලයක් නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිවරයා වශයෙන් ද කටයුතු කරන ලදී.  

කොළඹ කොටස් හුවමාරුවේ හා ආසියානු සහ පැසිෆික්, මැනිලා හි සංවර්ධන මූල්‍යකරණ ආයතන පිළිබඳ ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ඔහු ලංකා කොමර්ෂල්  (පෞද්ගලික) බැංකුවේ අධ්‍යක්ෂ තනතුර හොබවා ඇත. 2009 වර්ෂයේ ස්ථාපිත කළ බදු පිළිබඳ ජනාධිපති කොමිසමෙහි සාමාජිකයකු වූ ෆොන්සේකා මහතා මෑතක් වනතුරු ව්‍යවස්ථාව මගින් සම්මත වූ ජාතික මිලදී ගැනීම් (Procurement) කොමිසමෙහි ද සාමාජිකයකු විය.

මෙම නව පත් කිරිමත් සමගින්ම මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වන්නේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රාණි ජයමහ සහ ඇන්තනි නිහාල් ෆොන්සේකා යන මහත්ම මහත්මීන්ය.

Visits: 182