DIMO PLC මගින් රු.මිලියන 450කට Tropical Health Food සමාගම මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම (DIMO PLC) විසින් මෙරට තුළ කාබනික ආහාර නිෂ්පාදනයේ නිරත ට්‍රොපිකල් හෙල්ත් ෆුඩ් (පෞද්) සමාගම මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

ඊයේ (මැයි 25) දිනයේදී මෙම අත්පත් කරගැනීමට අදාළ ගනුදෙනුව සම්පූර්ණ වී තිබේ. මෙහිදී DIMO PLC සමාගම මගින් ට්‍රොපිකල් හෙල්ත් ෆුඩ් (පෞද්) සමාගමේ කොටස් මිලියන 12.6ක් (12,670,420ක) ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති අතර, එය එම සමාගමේ කොටස් අතරින් 94.5%ක ප්‍රතිශතයක් නියෝජනය කරයි.

මෙහිදී මෙ ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 450ක් (450,080,000ක්) වන බවත් DIMO PLC සමාගම පවසා සිටියි.

මේ අතර DIMO PLC සමාගම සඳහන් කරන ආකාරයට මෙහිදී අදාළ කොටස් මිලදී ගැනීමේ ගනුදෙනුව ට්‍රොපිකල් හෙල්ත් ෆුඩ් (පෞද්) සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඔර්හාන් යිල්මාස් මහතා සමගින් සිදු කර ඇත.

කාබනික එළවලු සහ පළතුරු වගාව මෙන්ම සැකසීම ඇතුළු කටයුතු සිදු කරන ට්‍රොපිකල් හෙල්ත් ෆුඩ් (පෞද්) සමාගම මගින් නවීනතම වගා ක්‍රමවේද යොදා ගනිමින් සිය මෙහෙයුම් පවත්වාගෙන යන බව පවසයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්කඩුවාවහි පිහිටි හෙරලියවල කර්මාන්ත පුරයේ මෙම ආහාර සැකසුම් කර්මාන්තශාලාව පිහිටා තිබේ.

අද වනවිට වසරකට අන්නාසි මෙට්‍රික් ටොන් 3000ක්, කර්තකොලොම්බන් අඹ මෙට්‍රික්ටොන් 100ක්, කෝලිකුට්ටු කෙසෙල් මෙට්‍රික් ටොන් 100ක් ඇතුළුව එකිනෙකට වෙනස් නිවර්තන කලාපීය පළතුරු වර්ග රැසක් ට්‍රොපිකල් හෙල්ත් ෆුඩ් (පෞද්) සමාගම මගින්නිෂ්පාදනය කරන බවත් සඳහන් වෙයි.

Visits: 188