“ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරග සංචාරය ශ්‍රී ලංකා ආර්ථිකයට අතිශය වැදගත්” – ඔස්ට්‍රේලියානු පුවත් සේවා පවසයි

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උපකාරී වීම සඳහා එළැඹෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරග සංචාරය අතිශය වැදගත් බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ඔස්ට්‍රේලියා (AAP) පුවත් සේවය පවසයි.

ලබන මාසයේදී පැවැත්වීමට නියමිත මෙම තරග සංචාරයට පෙර ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් තරගාවලිය සම්බන්ධයෙන් සදාචාරාත්මක ගැටලු කිහිපයක් පිළිබඳව සලකා බලමින් සිටින බවට සඳහන් ලිපියක් පළ කරමින් එම පුවත් සේවය මෙම කරුණු සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම මාසය මුලදී මතු වූ ආරක්ෂාව පිළිබඳ ගැටලු සහ අද වනවිට රට තුළ මතුව තිබෙන උද්ධමනය ඉහළ යාමේ ගැටලු සහ මූලික අවශ්‍යතා හිඟ වීම යනාදී තත්ත්වයන් එහිදී ප්‍රධාන අවධානයට යොමුව තිබේ.

“පසුගිය අප්‍රේල් මාසයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නිලධාරීන් විසින් ඔවුන්ගේම ආරක්‍ෂක අංශ ප්‍රධානියෙකු ලවා ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය සොයා බැලීමක් සිදු කර තිබුණා. එහි දී සංචාරය ඉදිරියට යාමට ආරක්ෂිත බව පසුගිය සතියේ දී සහතික කර තිබුණා.” ඇසෝසියේටඩ් ප්‍රෙස් ඔස්ට්‍රේලියා පුවත් සේවය පවසයි.

කෙසේ වෙතත් එම පුවත් සේවය සඳහන් කරන ආකාරයට වර්තමාන තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සිය නොසන්සුන්තාව ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වී තිබේ.

එහිදී උදාහරණයක් ලෙස දිනපතා විදුලිය විසන්ධි වන රටක අගනුවරදී, තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් රාත්‍රී තරග ලෙස ආලෝකය යටතේ ක්‍රීඩාකිරීම මහජනයා තුළ යම් කැලඹීමක් ඇති කළ හැකි කරුණක් විය හැකි බවට එම ක්‍රීඩකයන් විශ්වාස කරන බවත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් රාත්‍රි කාලයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ තරග දිවා තරග ලෙස වෙනස් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය මෑතකාලීනව යොමුවී තිබූ බවත් පැවසුණි. නමුත් ඒ පිළිබඳව තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැති බවත් එම පුවත් සේවය සඳහන් කරයි.

මීට අමතරව සැලකිය යුතු ඉන්ධන හිඟයක් පවතින අවස්ථාවකදී කණ්ඩායම් ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරග සඳහා මෙන්ම පල්ලෙකැලේ පැවැත්වෙන එක්දින තරග සඳහා ද සහභාගී වීම තරමක් අර්බුදකාරී විය හැකිවෙනු ඇතැයිද එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

මේ කරුණු සම්බන්ධයෙන් පුවත් සේවාව වෙත අදහස් දක්වා ඇති ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Todd Greenberg මහතා, තම ක්‍රීඩකයන් සංචාරය සඳහා සහභාගී නොවන ලෙස කිසිදු යෝජනාවක් කර නොමැති බව පවසා තිබේ.

“ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව ක්‍රීඩකයින් ඉතා හොඳින් දන්නවා. ඉහළ යන ආහාර මිල, විදුලිය කප්පාදුව සහ ඉන්ධන හිඟ වීම වගේ ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන තත්ත්වයන් ගැන ඔවුන් දැනුවත්. මේ වගේ වෙනදාට වඩා වෙනස් තත්ත්වයන් යටතේ සංචාරය කිරීමේ දී අපහසුතාවයක් ඇති වීම සාධාරණයි”, AAP වෙත අදහස් දක්වමින් Todd Greenberg පවසා ඇත.

“අපගේ ක්‍රීඩකයින් තරගාවලියට සහභාගී වෙන්න සූදානම්. කෙසේ වෙතත් සංචාර‍යේ සූදානම සහ සැලසුම පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙතින් උපදෙස් සහ මග පෙන්වීමක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් එම පුවත් සේවය වෙත සඳහන් කර තිබේ.

ඕස්ට්‍රේලියාව 2016 වසරෙන් පසුව මෙරට සංචාරය කර නොමැති අතර මේ හේතුවෙන් කොළඹ, පල්ලෙකැලේ සහ ගාල්ලේ පැවැත්වෙන තරග සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් ඔස්ට්‍රේලියානු ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 164