USAID ප්‍රධානී සමන්තා පවර් සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර දුරකතන සංවාදයක්

ශ්‍රී ලංකාවේ මතුව තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදකාරී තත්ත්වය සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා USAID ආයතනය වෙතින් ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණු බව එම ආයතනය පවසයි.

ඒ අනුව එහි පරිපාලන නිලධාරිනී සමන්තා පවර් මහත්මිය සහ ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර දුරකතනය හරහා මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති සමන්තා පවර් මහත්මිය මෙම මාසය මුලදී ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන ගැටුම්කාරී තත්ත්වය නිසා ඝාතනයට ලක් වූ සහ තුවාල වූ පිරිස සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බව සඳහන් කර තිබේ.

එසේම මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබා සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ඇය පොරොන්දු වී ඇති අතර, අර්බුදය අනුව USAID හරහා ශ්‍රී ලංකාව වෙත උදව් කරනු ඇතැයි පවසා තිබේ. මීට අමතරව ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා කඩිනමින්ම දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම අවශ්‍ය බවත් ඇය අවධාරණය කර තිබේ.

විශේෂයෙන්ම රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් ඇතිව තිබෙන ආහාර, ඉන්ධන සහ පොහොර අර්බුදය නිසා ශ්‍රී ලාංකික ජනතාව අත්විදිමින් සිටින ආර්ථික කම්පනය මඟහැරවීම සඳහා වඩාත් අනතුරට භාජනය විය හැකි සහ නොසලකා හැරුණු ජනසමාජයන් වෙත අවශ්‍ය කඩිනම් අවශ්‍යතා වෙනුවෙන් USAID ආයතනය දැනටමත් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් සමන්තා පවර් මහත්මිය මෙහිදී පවසා ඇත.

මේ අතර මෙම අසීරු කාලසීමාවේදී ශ්‍රී ලංකාව වෙත ආධාර ලබා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, G7 කණ්ඩායම සහ අනෙකුත් සහයෝගි කණ්ඩායම් සමගින් සමීපව කටයුතු කිරීමටද USAID ආයතනය කටයුතු කරන බවත් ඇය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පවසා ඇතැයිද සඳහන් වෙයි.

Visits: 50