SLIIT හි CODE පළමු වරට නොමිලේ පවත්වන AI/ML මාර්ගගත පාඨමාලාව ඇරඹේ

SLIIT විවෘත හා දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානය (Centre for Open and Distance Education – CODE) විසින් මාර්ගගත (Online) අධ්‍යාපනයේ නව පරිච්ජේදයක් ආරම්භ කරමින් ස්වයං-වේගවත් පාඨමාලාවක් සහිත අංගසම්පූර්ණ, ස්වාධීනව සංවර්ධනය විය හැකි මාර්ගගත වේදිකාවක් ආරම්භ කරන ලද බව පවසයි.

CODE හි අරමුණ වන්නේ තරුණයින් හට ඉහළ ඉල්ලුමක් සහිත වූ කුසලතා වලින් සංවර්ධනය වීමට අවශ්‍ය හැකියාව ලබා දෙමින් ඔවුන්ගේ එම දක්ෂතාවයන්ට අනුව කර්මාන්ත තුළ පවතින පුරප්පාඩු හිඟය පිරවීම සඳහා ඔවුන්ව අනුයුක්ත කර ගැනීමය.

SLIITහි පරිගණක පීඨයේ, කර්මාන්ත සම්බන්ධීකරණ ඒකකය විසින් ස්ථාපිත කරන ලද මෙම මධ්‍යස්ථානය මඟින් මෙම මාර්ගගත පාඨමාලාව, SLIIT හි උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතාගේ ප්‍රධානත්වය ඇතිව, එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය ඇතුළු SLIIT සමග එක්ව සිටින කර්මාන්ත වෘත්තිකයන්ගේ සහ සිසුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විය.

CODE විසින් ඉදිරිපත් කරනු ලබන ආරම්භක පාඨමාලාව වන්නේ ඉංජිනේරුවෙකු වීමට අපේක්ෂාවෙන් සිටින ඕනෑම අයෙකු සඳහා වැඩි දියුණු කර ඇති ‘කෘතිම බුද්ධිය/යාන්ත්‍රික අධ්‍යයන ඉංජිනේරු පළමු අදියර’ (Artificial Intelligence/Machine Learning Engineer Stage 1) වන AI/ML පාඨමාලාව වේ. අනෙක් පාඨමාලා දෙක වන්නේ ‘Cyber Security’ සහ ‘Cloud Computing’ යන පාඨමාලය. අති නවීන තාක්‍ෂණයන්ගෙන් හා ප්‍රායෝගික බවින් යුතුව සකස් කරන ලද මෙම සවිස්තරාත්මක පාඨමාලා තුළින් තරුණ තරුණියන්ගේ රැකියා අවශ්‍යතාවයන් උපරිම ලෙස ඉටු කර ගැනීමට හැකි වේ.

CODE වේදිකාව මගින් සිසුන් වෙත ලබා දෙන පළමු පාඨමාලාව වන SLIIT AI පාඨමාලාව මූලික, අතරමැදි සහ විශේෂඥ මට්ටම් වලින් සමන්විත වන අතර, Artificial Intelligence සහ Machine Learning සම්බන්ධ මූලික කරුණු පිළිබඳ ආවරණය වන ආරම්භක පළමු අදියර සහිත, AI හා සම්බන්ධ කර්මාන්තයේ එක් එක් ක්ෂේත්‍ර වල විශේෂඥතාවයන් භාවිතා කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි.

මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ TensorFlow සහ PyTorch ඇතුළුව කර්මාන්තයේ වඩාත්ම නවීන මෙවලම් සහ තාක්ෂණයන් පිළිබඳව හඳුන්වා දෙමින් සිසුන් සඳහා ප්‍රායෝගික සහ සෘජු මැදිහත්වීමේ ප්‍රවේශයක් ද ඇතිවය. පාඨමාලා සැලසුම් කර ඇත්තේ ද පුද්ගලයෙකුට වැඩසටහනෙහි මූලික කරුණු වලට නිරාවරණය වීම සහතික කරමිනි.

පාඨමාලාවට අදාළ පාඩම් සතිපතා හඳුන්වා දෙනු ලබන අතර සහභාගිවන්නන් අන්තර්ගතය අධ්‍යයනය කිරීම, ප්‍රශ්නාවලියේ ඇගයීම් සම්පූර්ණ කිරීම සහ පාඨමාලාව සම්පූර්ණ කර සහතිකය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් ලකුණු ලබා ගැනීම අවශ්‍ය වේ. පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු, සහභාගිවන්නන් සඳහා SLIIT වෙතින් පිරිනමනු ලබන ‘පාඨමාලාව සම්පූර්ණ කිරීමේ සහතිකය’(Certificate of Completion) හිමිවනු ඇත.

CODE විසින් පාසල් හැර යන්නන්ට, තොරතුරු තාක්ෂණ නොවන ඒ ආශ්‍රිතව වැඩසටහන් හදාරන උපාධිධාරීන්ට සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති අය සඳහා AI/ML පාඨමාලාව හැදෑරීම සඳහා ඇතුළත් වී ඔවුන්ගේ කුසලතා සහ දැනුම වැඩි දියුණු කර ගැනීමට ආරාධනා කරයි. සියලුම පාඨමාලා නොමිලේ පැවැත්වෙන අතර, එක් එක් පාඨමාලාව සඳහා සහභාගීවන සංඛ්‍යාවෙහි සීමාවක් පනවා නොමැත.

SLIIT හි CODE වේදිකාව හරහා පැවැත්වෙන පාඨමාලා මඟින් සිසුන්ට විදේශ රැකියා ලබා ගැනීමට, දුරස්ථ රැකියාවල නියැලීමට හෝ ශ්‍රී ලංකාවේ ප්‍රකට තොරතුරු තාක්ෂණ සමාගම්වල පවා රැකියා කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී. තවද ඔවුන්ගේ රැකියා නිපුණත්වය උපරිම කර ගැනීම සඳහා මෙම පාඨමාලාව ඔවුන්ව සවිබල ගන්වනු ඇත.

දැන් ලියාපදිංචි වන්න: https://code.sliit.org/

Visits: 77