විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට මූල්‍ය සහ නීති උපදේශකවරයන් පත් කර ගැනේ

ශ්‍රී ලංකා රජයේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා වන මූල්‍ය උපදේශකවරයෙකු සහ ජාත්‍යන්තර නීති උපදේශකවරයෙකු තෝරා ගැනීමක් සිදු කර ඇතැයි රජය පවසයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේදී මේ පිළිබඳව අනාවරණය කෙරිණි. ඒ අනුව මෙම සමාගම් දෙක වෙත ඒ සඳහා වන ප්‍රසම්පාදන පිරිනැමීමටත් කටයුතු යෙදී තිබේ.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය උපදේශන සේවාව සඳහා වන ප්‍රසම්පාදනය ප්‍රංශයේ M/S Lazard ආයතනය වෙත පිරිනමා තිබේ. එසේම ජාත්‍යන්තර නීති උපදේශන සේවාව සඳහා වන ප්‍රසම්පාදනය M/S Clifford Chance LLP ආයතනය වෙත පිරිනැමීම සිදුව තිබේ.

මෙම ආයතන තෝරා ගැනීම සඳහා කළ යෝජනා කැඳවීමේදී මූල්‍ය උපදේශකයෙකුගේ සේවය ලබා ගැනිම වෙනුවෙන් යෝජනා 28ක්ද, නීති උපදේශකවරයෙකු තෝරා ගැනීම වෙනුවෙන් යෝජනා 23ක්ද ලැබී තිබේ.

ඒ අනුව මෙම ප්‍රසම්පාදන දෙකට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද මෙහෙයුම් කමිටුවල නිර්දේශයන් මත පදනම්ව ඉහත සඳහන් කළ ආයතන ජනපතිවරයා විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය වෙත යෝජනා කර ඇති අතර, අදාළ ආයතන වෙත එම ප්‍රසම්පාදන පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දී ඇති උපදෙස් අනුව මෙලෙස ශ්‍රී ලංකාව සිය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පියවර ගෙන ඇත. එහිදී පසුගිය අප්‍රේල් 12 වැනිදා සිට ශ්‍රී ලංකාව සිය විදේශ ණය ආපසු ගෙවීම තාවාකලිකව අත්හිටුවීමක් සිදු කර ඇතැයිද නිවේදනය කර තිබුණි.

Visits: 75