රජය ඉන්ධන ලීටරයකින් ලැබූ පාඩුව නවතා ගනී – පෙට්‍රල් 95 ලීටරයකින් රජයට රු. 6ක ලාභයක්

ඉන්ධන ආනයනය කර, ගොඩබා අනතුරුව බෙදාහැරීම හරහා රජය මේ දක්වා ලීටරයක් සඳහා ලැබූ පාඩුව නවතා ගැනීමක් සිදුව ඇතැයි වාර්තා වෙයි. අද අලුයම 3.00 සිට සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනය හරහා මෙම පාඩු නැවැත්වීම සම්පූර්ණ වී ඇතැයි සඳහන් වෙයි.

පෙරේදා (මැයි 22දා) දිනයේදී පෙට්‍රල් සහ ඩීසල් සහ භූමිතෙල් ආනයනය, ගොඩබෑම සහ බෙදාහැරීම යන කාර්යයන් හරහා රජය දරන වියදම් සහ ඊයේ එම ඉන්ධන සඳහා වන සිල්ලර මිල ගණන් ගලපමින්, එම නිෂ්පාදන හරහා රජයට සිදුවන පාඩුව පිළිබඳව ඉන්ධන සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ සටහන තුළ මේ බව සඳහන්ව තිබේ.

ඒ අනුව ඊයේ දිනය වනවිට පෙට්‍රල් 92 ලීටරයක් සඳහා වන වියදම රුපියල් 421.71කි. එහෙත් එම ඉන්ධන ලීටරයක සිල්ලර මිල රුපියල් 338.00කි. ඒ අනුව රජය මේ හරහා ලබන පාඩුව රුපියල් 83.71ක් ලෙස සටහන්ව ඇත. කෙසේ වෙතත් අද අලුයම සිට එම පෙට්‍රල් ලීටරයක් රුපියල් 420ක් දක්වා ඉහළ දැමුණි. ඒ අනුව පාඩුව රුපියල් 1.71ක් දක්වා අඩුවී තිබේ.

එසේම පෙට්‍රල් 95ලීටරයක් සඳහා වන වියදම රුපියල් 444.04ක් ලෙස ගණන් බලා ඇති අතර, එම ලීටරයක සිල්ලර මිල රුපියල් 373.00කි. ඒ අනුව රජය ලබන පාඩුව රුපියල් 71.04ක් ලෙස සටහන්ව ඇත. එහෙත් අද අලුයම සිදු කළ මිල ඉහළ දැමීම යටතේ එම පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 450ක් වී ඇත. ඒ අනුව මෙතෙක් තිබූ පාඩුව රුපියල් 6ක ලාභයක් බවට පත්ව ඇත.

රජය පවසන ආකාරයට ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා වන වියදම රුපියල් 400.60කි. ඊයේ දිනය දක්වා එහි සිල්ලර මිල රුපියල් 289.90ක් වූ අතර, ඒ හරහා රජය දැරූ පාඩුව රුපියල් 111.60කි. එහෙත් අද අලුයම සිදුකළ මිල සංශෝධනයේදී එම ඩීසල් ලීටරයක මිල රුපියල් 400ක් දක්වා ඉහළ නැග තිබේ. ඒ අනුව රජය ලැබූ පාඩුව ශත 60ක් දක්වා අඩුවී ඇත.

මීට අමතරව සුපර් ඩීසල් ලීටරයක් සඳහා රජය රුපියල් 444.95ක වියදමක් දරා ඇති අතර, ඊයේ දිනය වන තෙක්ම එහි සිල්ලර මිල රුපියල් 329.00ක් විය. කෙසේ වෙතත් අද අලුයම සිදුකළ මිල සංශෝධනයේදී එම ලීටරයක් රුපියල් 445ක් දක්වා ඉහළ නැග තිබේ. ඒ අනුව රජය එම ඩිසල් අලෙවියෙන් ලැබූ පාඩුවද අද වනවිට පියවා ගැනීමට සමත්ව ඇත.

කෙසේ වෙතත් භූමිතෙල් ලීටරයක් සඳහා රජය දරන වියදම රුපියල් 362.26ක් වන අතර, එහි සිල්ලර මිල රුපියල් 87කි. ඒ අනුව රජය අදටත් භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 275.26ක පාඩුවක් දරමින් සිටියි.

Visits: 252